සඟවා තිබූ බීඩි කොළ කිලෝ 450කට අධික තොගයක් STF දැලේ
කල්පිටිය, පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ රහසිගතව සඟවා තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා බීඩි කොළ තොගයක් සොයා ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් සමත්ව තිබේ.
ඊයේ (08) සවස විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම බීඩි කොළ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී පාර්සල් 13ක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 452ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් අතර, එම තොගය වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම භාණ්ඩ තොගය මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද්දක් ද යන්න පිළිබඳව සැකයක් පවතින අතර ඒවා සඟවා තැබූ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසයි.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කල්පිටිය පොලිසිය එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පවතින වැටලීම් හමුවේ ජාවාරම්කරුවන් මෙලෙස භාණ්ඩ සඟවා තැබීමට පෙළඹී ඇති බව විමර්ශන නිලධාරීහු විශ්වාස කරති.