නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති
විදුලි ගාස්තු සංශෝධනය වී සතියක් ගතවීමටත් මත්තෙන්, 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් සියයට 15කින් පමණ ඉහළ නැංවීමට අවසර දෙන ලෙස 'නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම' මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම ඉදිරිපත් වන්නේ පසුගිය මාර්තු 31 වැනිදා සමස්ත විදුලි ගාස්තු සියයට 10කින් පමණ ඉහළ නැංවීමට අවසර ලබාදී ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
විදුලි ජනනයේදී සිදුවන රුපියල් බිලියන 16ක අතිරේක පිරිවැයක් පියවා ගැනීම සඳහා මෙම ගාස්තු වැඩි කිරීම අත්‍යවශ්‍ය බව එම සමාගම පෙන්වා දෙයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා අතිරේක ඩීසල් ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුවීම සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මත ඇති වී තිබෙන දැවිතෙල් හිඟය හේතුවෙන් ඩීසල් බලාගාරවලින් විදුලිය උත්පාදනය කිරීමට සිදුවීම මෙම පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත.
එමෙන්ම ගල් අඟුරුවලින් අපේක්ෂිත විදුලි ධාරිතාව ජනනය නොවීම හේතුවෙන් ඩීසල් බලාගාරවලින් විදුලි ඉල්ලුම පියවා ගැනීමට සිදුවීමෙන් අතිරේක ජනන වියදමක් දැරීමට සිදුවන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර සිටියි. ඔවුන් පවසන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරයා එහි විදුලි ඉංජිනේරුවන්ට 'කප්පම්' මුදල් ලබා දෙමින් සිටින බවයි.
ජනතාව මත අධික විදුලි බිලක් පටවන අතරතුර බලාගාර පවත්වාගෙන යාමට මෙලෙස අක්රමික ක්‍රියා සිදුකරන බවට වෘත්තිය සමිති චෝදනා කරයි.
පසුගිය මාර්තු මස ලබාදුන් අවසරය මත අප්‍රේල් 01 සිට ජුනි 01 දක්වා කාලයට අදාළව දැනටමත් සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසයකින් ගාස්තු වැඩි වී ඇති අතර, සතියක් තුළ ඉදිරිපත් වූ මෙම දෙවන යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.