“කැමරාව ඉදිරියේදී තවමත් මට කනස්සල්ලක් දැනෙනවා” - 2018 සිදුවීම ගැන ස්ටීව් ස්මිත්ගෙන් සංවේදී ප්‍රකාශයක්
2018 වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් සුප්‍රසිද්ධ “Sandpapergate” පන්දුව පළුදු කිරීමේ සිද්ධිය තවමත් තම මනසට බලපෑම් කරන බව ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් පවසනවා.
හිටපු ඕස්ට්‍රේලියානු නායකයා මේ වනවිට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට සූදානම් වෙමින් සිටින අතර, 2018 සිද්ධියෙන් පසු පළමු වරට එරටදී ටෙස්ට් තරගයකට සහභාගි වීමට නියමිතයි.
2018 වසරේ කේප් ටවුන්හිදී පැවති තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව වෙනස් කිරීම සඳහා වැලි කඩදාසියක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්මිත්ට වසරක තරග තහනමක් පැනවුණු අතර, ඔහුට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයද අහිමි වුණා.
එම සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරුවෙකු ලෙස සැලකුණු ඩේවිඩ් වෝනර්ටද මාස 12ක තරග තහනමක් සහ සියලු නායකත්ව තනතුරු තහනම් කිරීමක් සිදුකර තිබුණා. කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස නවයක තරග තහනමක් පනවා තිබුණා.
දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 9 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිත අතර, ඉන් අනතුරුව Gqeberha සහ Cape Town හිදී තරග පැවැත්වීමට නියමිතයි.
මෙම සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ස්මිත් පවසා ඇත්තේ 2018 සිදුවීම් තවමත් ඇතැම් අවස්ථාවලදී තම මතකයට නැඟෙන බවයි. විශේෂයෙන්ම ජොහැන්නස්බර්ග් ගුවන් තොටුපළෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍ය කැමරා විශාල සංඛ්‍යාවක් තමන් වෙත යොමු වූ ආකාරයත්, ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු සිඩ්නිහි පැවති මාධ්‍ය හමුවේදී හැඟීම්බර වූ අවස්ථාවත් තවමත් මතකයේ ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා. “කැමරා සම්බන්ධයෙන් මම එතරම් කැමැත්තක් නැහැ. ඇත්තටම කැමරා ළඟදී මට තවමත් කනස්සල්ලක් දැනෙනවා,” යනුවෙන් ස්මිත් පවසා තිබෙනවා.
කැමරාවක flash ආලෝකය දකින විට එම අතීත අත්දැකීම් යළි මතකයට නැඟෙන බවද ඔහු සඳහන් කර තිබෙනවා. එම කාලය තම ජීවිතයේ ඉතා අසීරු අත්දැකීමක් වූ බවත්, එම සිදුවීම්වලින් ඉගෙනගෙන ඉදිරියට යාමට තමන්ට හැකි වූ බවත් ස්මිත් පවසනවා.
2018 සිදුවීම්වලින් පසු තමන් එම කාලය පිළිබඳ බොහෝ මතකයන් අමතක කිරීමට උත්සාහ කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත්, එම සිදුවීමෙන් පසු ස්මිත් යළිත් ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. මේ වනවිට ඔහු ටෙස්ට් ලකුණු 10,920ක් රැස්කර ඇති අතර, ඔහුගේ ටෙස්ට් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 56කට ආසන්නයි.
2018න් පසු ස්මිත් දකුණු අප්‍රිකාවේ සීමිත ඕවර තරග සඳහා සහභාගි වී තිබුණත්, ටෙස්ට් තරගයක් සඳහා එරටට පැමිණ ඇත්තේ මෙවරයි. එමෙන්ම දකුණු අප්‍රිකාවේදී තමන්ට දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට මුහුණදීමට සිදුවිය හැකි බව ඔහු පිළිගන්නවා. එහෙත් එවැනි පීඩනයන් තම වෘත්තීය ජීවිතය තුළ මීට පෙරද අත්විඳ ඇති බවත්, එය තමන්ට දිරිගැන්වීමක් ලෙස භාවිත කිරීමට උත්සාහ කරන බවත් ස්මිත් පවසනවා. “මම එවැනි දේවලට දැන් හුරුයි. විදේශ රටවල විවිධ ක්‍රීඩාංගණවලදී මට බොහෝ දේවල් අත්විඳීමට සිදුව තිබෙනවා. මම එය මගේ ආකාරයෙන් භාරගෙන, හොඳින් ක්‍රීඩා කිරීමට පෙළඹවීමක් ලෙස භාවිත කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.