හේමන්ත හේරත්ගෙන් සැර ප්‍රකාශයක්..!!!වගකිවයුත්තෝ කවුරුන්ද..?

curfew covid19 quarantine Hemantha herath liquor shops
By Sewvandhi Sep 18, 2021 08:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුරාසල් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශයක් ලබා දී නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නිරෝධායන නීති කාල සීමාව දීර්ඝ කිරීමක් පමණක් සිදු කර ඇති බවත් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සංශෝධයනක් කර නොමැති බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය.

"මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් ඇත්තට ම පැහැදිලිව ම උපදේශයක් දීල නැහැ. නිරෝධායන නීති දීර්ඝ කිරීම පමණයි සිදුවෙලා තියෙන්නේ. ඒ නිරෝධායනය කාල සීමාව තුළ කළ යුතු දේ සම්බන්ධයෙන් දීල තියෙන චක්‍රලේඛවල සංශෝධනයක් කරලා නැහැ." ඔහු පෙන්වා දුන්නේ,

යම් හෙයකින් සුරාසල් විවෘත කිරීමට සෞඛ්‍ය අංශ නිර්දේශය ලබා දුන්න ද එම ස්ථානවල පුද්ගලයින් එක්රැස් වීම බරපතළ ප්‍රශ්නයක් බවය.

"සෞඛ්‍යයෙන් කියන්න පුළුවන් වෙන්නේ, සුරාසල් අරින්න නෙමෙයි. අරිනවා නම් විරුද්ධත්වයක් නැහැ කියලනේ. දැන් කඩ වුණත් කඩ අරින්න කියලා අපිට නියෝග දෙන්න බැහැ. අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ අහවල් කඩ ඇරියොත් අපට ප්‍රශ්නයක් නැහැ කියලා."

සුරාසල් විවෘත කිරීමට අවසර ලබා දිය යුත්තේ සුරාබදු කොමසාරිස්වරයා මිස සෞඛ්‍ය අමාත්‍යංශය නොවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේය. එමෙන් ම, සුරාසල් විවෘත කිරීමට සුරාබදු කොමසාරිස්වරයා නියෝග නොකළ බවට මාධ්‍ය වාර්තා පළ වුණු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

"සුරාබදු කොමසාරිස්තුමා කියනවා නම්, එතුමාට එවැනි සෞඛ්‍යයෙන් නිර්දේශයක් ලැබිලා නෑයි කියලා, එතකොට එතුමාත් අරින්න කියලා නියෝගයක් දීලා නැත්නම්, සුරාසල් කොහොම ද ඇරියේ?"

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සුරා පානය අනුමත නොකරන බවත් ඒ සඳහා දිරිමත් නොකරන බවත් ය. "සෞඛ්‍යයට සුරාව අහිතකරයි.

නමුත් රටේ පවතින තත්ත්වය අනුව, සුරාසල් පාලනයකින් යුතුව කරගෙන යාමට යම් යම් තීරණ ගන්නකොට අපිත් ඒ සම්බන්ධයෙන් නිර්දේශ දෙනවා. නිරෝධායන නීති පවතින කාල සීමාව තුළ අනිවාර්යෙන් ම, අපි සුරාසල් හෝ ඒ හා සමාන ඔය රෙස්ටුරන්ට් අරවා මේවා බාර් ඇරීම නොකළ යුතුයි කියන නිර්දේශය තමා අපි දීලා තියෙන්නේ."

ඒ මහතා සඳහන් කළේ, ඒ අනුව සුරාබදු කොමිසාරිස්වරයාගේ අනුදැනුම නොමැතිව සුරාසල් විවෘත කිරීම කිසිවෙකුටත් සිදු කළ නොහැකි බවට තමන් විශ්වාස කරන බවය.

"ඒ තත්ත්වය යටතේ සුරාබදු කොමසාරිස්වරයානේ අවසානයේදී තීරණය කරන්නේ මේවා අරිනවා ද වහනවා ද කියලා. දැන් මේ මොහොත වෙනකොට වහලයි තියෙන්නේ. එතකොට ඒක අරිනකොට සුරාබදු කොමසරිස්තුමාගේ අනුදැනුම නැතුව මං හිතන්නේ නැහැ කාටවත් බාර් අරින්න පුළුවන් කියලා." ඒ මහතා මෙසේ ද පැවසීය.

"මම නම් කියන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය පැත්තෙන් නිරෝධායන ඇඳිරි නීතිය යටතේ දහසක් ව්‍යාපාර වහලා තියෙද්දී සුරාසල් පමණක් අරින්න ඉඩ දෙන්න අපිට නම් අවශ්‍යතාවක් නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් මොන මොන විදියේ තීරණ අරගත්තා ද කියලා අපි දන්නේ නැහැ. මොන විදියකට කළත් පැහැදිලිව ම පේනවා ඉතාමත් ම නරක විදියට ජනතාව පොදි කෑවා ඊයේ. ඒක මගේ ඇහැටත් දැක්කා."

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එය වසංගතය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශය ගත් ප්‍රයත්න පැය කිහිපයක් ඇතුළත කඩා වැටීමක් බවය. මෙම ප්‍රවෘත්තිය පළ කරන අවස්ථාව වන තෙක් ම සුරාසල් විවෘත කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසරයක් ලබා දුන්නේ ද යන්න විමසීමට වරින් වර එම දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now