සැප්තැම්බර් අවසානයේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට …

srilanka tourism presanna ranatunga
By Nimal Jul 16, 2021 06:05 AM GMT
Report

 සැප්තැම්බර් මාසය අවසාන වනවිට සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලුදෙනාට එන්නත ලබාදීමෙන් අනතුරුව මෙරට සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි

. මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක් අද පෙරවරුවේ දිවයිනට ගෙන ආ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සහන පැකේජ ලබාදීම සඳහා ගුවන් සේවා සමාගම් වලට අවස්ථාව සලසා දී ඇති බවයි.

ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට ලෝක මට්ටමෙන් නව ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා ඊට සමගාමීව ගුවන් සමාගම් විසින් ලබාදෙන සහන පැකේජය ද ක්‍රියාත්මක කෙරෙන බව පෙන්වා දෙනු ලැබීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලංකාවේ ජනගහනයෙන් එන්නත ලැබිය යුතු අයගෙන් සියයට හැටකට එන්නත ලබා දෙන්න අපි කටයුතු කරනවා.එහෙම වුනොත් රටක් හැටියට අපට ඒක ලොකු හයියක්. එතකොට විදේශ රටවල සංචාරකයින්ට විශ්වාසයක් ගොඩ නැගෙනවා ලංකාවට යන්න පුළුවන් කොවිඩ් නැති ආරක්ෂිත රටක් කියලා. ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න එන්නත් කරන වැඩපිළිවෙළත් එක්ක අපි සංචාරක ව්‍යාපාරයට අලුත් ප්‍රචාරණ වැඩ පිළිවෙලක් හඳුන්වලා දෙන්න නියමිතව තිබෙනවා.

ඒකත් එක්කම විශාල වශයෙන් සංචාරකයෝ ලංකාවට ගෙන්න හැකි වෙයි කියලා අපි විශ්වාසය පළ කරනවා. ඒ එන සංචාරකයින් එන්නත් සම්පූර්ණ කරලා ආවොත් රට පුරා ඇවිදින්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එතකොට අපේ රටේ සියලුම දෙනාත් එන්නත් කරනය කරල තිබුණොත් ඒක සංචාරක ව්‍යාපාරයට ලොකු හයියක්. සංචාරකයින් එන්නත් දෙකම ලබාගෙන දින දාහතරකට පසුව ලංකාවට ආවොත් ගුවන්තොටුපලේදී පී සී ආර් එකක් කරලා ඒ වාර්තාවෙන් කොවිඩ් නැහැ කියලා ඔප්පු වුණොත් ඔවුන්ට රටේ සංචාරය කරන්න අවස්ථාව ලැබෙනවා.

එහෙම නැතුව සංචාරකයෝ ලංකාවට ආවොත් ඒගොල්ලො ජෛව බුබුළු ක්‍රමය හරහා තමයි සංචාරය කරන්නේ. එන හැමෝම රක්ෂණය කරලා තිබෙනවා. ඒ අයව නිරන්තරයෙන් පරික්ෂා කිරීමක් කෙරෙනවා. ඒ අයගෙන් අපිට කොරෝනා වැනි වසංගත බෝවීම වලක්වා ගන්නත් අපේ රටේ පුද්ගලයින්ගෙන් ඒ අයට කොරෝනා බෝවීම වලක්වා ගන්නත් අපි හැමවිටම කටයුතු කරනවා. පලවෙනි රැල්ල වත් දෙවැනි රැල්ල වත් තුන්වෙනි රැල්ල වත් සංචාරකයින්ගෙන් ආපු කොරෝනා රැළි නෙවෙයි.

මේ වෙනකන් සංචාරකයින්ගෙන් කොරෝනා රැල්ලක් බෝ වුණා කියලා සෞඛ්‍ය අංශ කියන්නේ නැහැ . මොකද අපේ ක්‍රමවේදය තුළ එහෙම දෙයක් වෙන්න බැහැ. ඒ නිසා ඉතාම පරිස්සමෙන් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෝකෙම සංචාරක ව්‍යාපාරය විවෘත කරන කොට අපි වහගෙන හිටියොත් ඒක අපේ රටට සංචාරක ව්‍යාපාරයට ලොකු පාඩුවක්. විපක්ෂයට අද වෙලා තියෙන්නේ චෝදනා කර කර ඉන්න එකයි. අපේ වගකීම රටට වැඩක් කරන එකයි.