ගුවනින් බඩු ගෙන්වන ඔයාට සුබ ආරංචියක් - කාර්ගෝ හරහා අලුත් වැඩක්
ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු එකක් බවට පත්කිරීමේ අරමුණින් Air Cargo Community System හඳුන්වාදීමේ විශේෂ වැඩපිළිවෙළක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන පරිදි බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක් ස්ථාපිත කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
2023 වසරේදී මෙම පද්ධතිය හඳුන්වාදීමට මූලික උත්සාහයක් ගත්තද, ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැතිකමින් එය ඇණහිට තිබූ අතර, වත්මන් රජය යටතේ සියලු පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එමින් එම කටයුතු නැවත සක්‍රීය කර ඇත.
මේ වන විට ACCS පද්ධතියේ තාක්ෂණික හා ව්‍යාපාරික ශක්‍යතා අධ්‍යයනය සිදුකෙරෙමින් පවතින අතර, එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු 21 වනදා පැවැත්විණි.
මෙම නව පද්ධතිය ඔස්සේ ගුවන් භාණ්ඩ නිෂ්කාශනයේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් සහ ලේඛන කටයුතු අවම වන බැවින්, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට විනිවිදභාවයෙන් යුතු ඩිජිටල් සේවාවක් ලබාදෙමින් මෙරට වෙළෙඳ හා ආර්ථික කටයුතුවලට දැවැන්ත පිටිවහලක් ලැබෙනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.