තෙල් සහ ගෑස් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සූදානමක් - ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් ගවේෂණ සඳහා නව නීති
මෙරට බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ කාර්මික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණය හා නිෂ්පාදන කටයුතු සඳහා ගෝලීය බලශක්ති සමාගම් සඳහා ආරාධනා කරමින් නව බලපත්‍ර නිකුත් කිරීමේ වටයක් (Licensing round) ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) නිවේදනය කර ඇත.
බටහිර මුහුදු තීරයේ සිදු කරන ලද මූලික ගවේෂණ කටයුතු මඟින් ව්‍යාපාරික වශයෙන් ප්‍රයෝජනවත් විය හැකි ස්වාභාවික ගෑස් නිධි පවතින බව තහවුරු වී ඇති අතර, මේ හරහා මෙරට ඉන්ධන ආනයන මත ඇති දැඩි යැපීම අවම කර ගැනීමට අපේක්ෂා කරයි.
මන්නාරම්, කාවෙරි සහ ලංකා ද්‍රෝණි (Mannar, Cauvery, and Lanka Basins) ඉලක්ක කර ගනිමින් මෙම නව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නියමිතයි. මෙම නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ වැඩිදුර විස්තර ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
1960 ගණන්වල අගභාගයේ ආරම්භ වූ මෙරට තෙල් ගවේෂණ ඉතිහාසයේ, 2011 වසරේදී මන්නාරම් ද්‍රෝණියෙන් ස්වාභාවික ගෑස් සොයාගැනීම සුවිශේෂී අවස්ථාවක් වූ නමුත්, මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් මින් පෙර එම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවී නැවතී ඇත.
කෙසේ වෙතත්, 2021 අංක 21 දරන පෙට්‍රෝලියම් සම්පත් පනත යටතේ නීතිමය රාමුව යාවත්කාලීන කරමින්, රජය මේ වන විට මෙම කටයුතු පුළුල් කිරීමට පියවර ගනිමින් සිටියි.