ඉරාන ආර්ථිකය හුදකලා කිරීමේ එක්සත් ජනපද සැලසුමෙන් ගෝලීය වෙළෙඳපොළට බලපෑම්
ඉරාන ආර්ථිකය හුදකලා කිරීම සඳහා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව මූල්‍ය මෙහෙයුමේ තොරතුරු පිළිබඳව ආයෝජකයින් අවධානය යොමු කිරීමත් සමඟ සඳුදා (අගෝස්තු 24) ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ “වඩාත්ම තලා දැමූ” මූල්‍ය මෙහෙයුමක් ලෙස හඳුන්වා තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳුදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ඒ අතර, ආසියානු කොටස් වෙළෙඳපොළවල් බොහෝමයක් සඳුදා මුල් වෙළෙඳාමේදී පහත වැටී තිබේ. දකුණු කොරියාවේ තාක්ෂණික කොටස් බරපතළ ලෙස පහත වැටීම හේතුවෙන් කොස්පි දර්ශකය සියයට 1.4කින් පහළ ගියේය.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම සති කිහිපයක වෙළෙඳපොළ අස්ථාවරත්වයෙන් පසු තමන්ගේම කොටස් නැවත මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක් වැය කළ බව ප්‍රකාශ කිරීමද ආයෝජකයන්ගේ අවධානයට ලක්ව තිබේ.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වේගවත් වර්ධනය හේතුවෙන් ජුනි මාසයේදී තාක්ෂණික සමාගම්වල කොටස් ඉහළ ගියද, පසුව ආයෝජකයන් අතර ඇති වූ අවිනිශ්චිතතාව හේතුවෙන් එම කොටස්වල මිල පහත වැටී ඇත. මේ අතර, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට තීරණාත්මක සතියක් ලෙස සැලකෙන මෙම සතියේදී ලොව වටිනාම සමාගමක් වන Nvidia හි ඉපැයීම් වාර්තාව කෙරෙහිද ආයෝජකයන්ගේ අවධානය යොමුව තිබේ.
AI සඳහා සිදුකරන දැවැන්ත ආයෝජන අඛණ්ඩව ප්‍රතිඵල ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් එම වාර්තාව වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Alibaba ද ගෝලීය AI ව්‍යාප්තිය සඳහා අරමුදල් සපයා ගැනීමට හොංකොංහි ඇමෙරිකානු ඩොලර් බිලියන 10.2ක නව කොටස් නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.
මේ අතර, ටෝකියෝ, ෂැංහයි, තායිපේ සහ වෙලින්ටන් යන වෙළෙඳපොළවල් පහත වැටී ඇති අතර, සිඩ්නි, ජකර්තා සහ බැංකොක් වෙළෙඳපොළවල් ලාභ වාර්තා කර තිබේ. මැනිලා සහ ක්වාලාලම්පූර් වෙළෙඳපොළවල් සාපේක්ෂව ස්ථාවරව පැවති බව වාර්තා වේ.
හොංකොං කොටස් වෙළෙඳපොළද සියයට 2කට වැඩි පහත වැටීමක් වාර්තා කර තිබේ. එහිදී වේගවත් විලාසිතා සමාගමක් වන Shein සැප්තැම්බර් 1 වැනිදා හොංකොං වෙළෙඳපොළට ඇතුළත් වීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කිරීමද අවධානයට ලක්ව තිබේ.
මේ අතර, ඉරානයට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කිරීම සඳහා එක්සත් ජනපදය ගන්නා පියවර සම්බන්ධයෙන් චීනය සහ අනෙකුත් මිත්‍ර රටවල් වෙතද අවධානය යොමුව තිබේ.
එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසා ඇත්තේ ඉරානය සමඟ පවතින ආර්ථික සබඳතා සහ බලපෑම් සම්බන්ධයෙන් ඉදිරියට යාම “සියුම් නර්තනයක්” වැනි ක්‍රියාවලියක් බවයි.
මෙවැනි පසුබිමක ප්‍රධාන බොරතෙල් කොන්ත්‍රාත් දෙකම සියයට 2.3කින් පහත වැටී ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් මිණුම් ලකුණ බැරලයකට ඇමෙරිකානු ඩොලර් 92ක් පමණ දක්වා පහත වැටී තිබේ.
එමෙන්ම, එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිලි සංඥා ලබාගැනීම සඳහා ආයෝජකයන් මෙම සතියේ පැවැත්වෙන ජැක්සන් හෝල් සමුළුව කෙරෙහිද අවධානය යොමු කර තිබේ. මහ බැංකුකරුවන්, ආර්ථික විද්‍යාඥයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහභාගී වන මෙම වාර්ෂික රැස්වීමේදී ඉදිරි පොලී අනුපාත ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉඟි ලැබෙනු ඇතැයි වෙළෙඳපොළ අපේක්ෂා කරයි.
මේ අතර, උද්ධමනය පිළිබඳ ඇති බිය සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් ණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා යාම හේතුවෙන් දීර්ඝ කාලීන බැඳුම්කරවල ඵලදායීතාව ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.