ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ක්ෂේත්රය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙළක් - ආයතන රැසක් එක්වෙයි
ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් Air Cargo Community System (ACCS) හඳුන්වාදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන හා පාර්ශ්වකරුවන් නියෝජනය කරන බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.
ACCS පද්ධතිය හඳුන්වාදීම සඳහා 2023 වසරේදීද මූලික උත්සාහයක් ගෙන තිබුණද, සියලු පාර්ශ්වකරුවන් අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් සහ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබිණි. කෙසේ වෙතත්, නව රජය පත්වීමෙන් අනතුරුව අදාළ සියලු පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එමින් මෙම වැඩපිළිවෙළ යළි ක්‍රමවත් ලෙස ආරම්භ කර තිබේ.
මේ වනවිට ACCS හඳුන්වාදීමේ ශක්‍යතාව, තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික අවශ්‍යතා සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතී. එහි ප්‍රගතිය සම්බන්ධ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් අගෝස්තු 21 වැනිදා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් ගුවන් භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීමටත්, අනවශ්‍ය ලේඛන කටයුතු අඩු කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම අදාළ ආයතන අතර තොරතුරු හුවමාරුව වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීමටද හැකි වනු ඇත.
මේ හරහා ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබාදීමට හැකි වනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවා, රටේ වෙළෙඳ හා ආර්ථික කටයුතු සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමද මෙම ඩිජිටල් පද්ධතිය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.