ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් අර්ජුනත් එක්වෙයි – හිටපු ක්‍රිකට් නායකයන්ගෙන් පකිස්ථාන අගමැතිට ලිපියක්

Report

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ජයග්‍රාහී හිටපු නායක අර්ජුන රණතුංග ඇතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් පිරිසක්, සිරගතව සිටින පාකිස්තානයේ හිටපු නායක සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් යළි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉම්රාන් ඛාන්ගේ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ලබාදුන් නියෝගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැති බව පවසමින් මෙම හිටපු ක්‍රිකට් නායකයන් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉම්රාන් ඛාන් රෝහලකට ඇතුළත් කර, ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන් සහ ඔහුගේ සහෝදරිය වන වෛද්‍ය උස්මා ඛාන්ද ඇතුළත් වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කර තිබූ බවයි.

එමෙන්ම සතිපතා පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසද නියෝග කර තිබූ බව ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ ඉම්රාන් ඛාන් රෝහලේ රැඳී සිට ඇත්තේ පැය කිහිපයක් පමණක් බවත්, පෞද්ගලික වෛද්‍යවරුන් ඇතුළත් ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් වෙනුවට රජය විසින් පත් කළ කණ්ඩායමක් ඔහුව පරීක්ෂා කර වෛද්‍යමය වශයෙන් සුදුසු තත්ත්වයක සිටින බව ප්‍රකාශ කර නැවත අඩියාලා බන්ධනාගාරයට යවා ඇති බවත්ය.

මෙම හිටපු ක්‍රිකට් නායකයන් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර තිබේ.

1.ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වෛද්‍ය මණ්ඩලයට ඉම්රාන් ඛාන් පිළිබඳ සම්පූර්ණ සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට අවස්ථාව ලබාදීම.

2.සතිපතා පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට ඇති අවස්ථාව අඛණ්ඩව ලබාදීම.

3.වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව නිර්දේශ කරන ඕනෑම ප්‍රතිකාරයක් ප්‍රමාදයකින් තොරව ලබාදීම.

මෙම ලිපිය යොමු කර ඇත්තේ දේශපාලනඥයන් ලෙස නොව, ඉම්රාන් ඛාන් සමඟ ක්‍රිකට් පිටියේදී එකට ක්‍රීඩා කළ හෝ ඔහුට එරෙහිව තරග කළ හිටපු ක්‍රීඩකයන් ලෙස බවද එහි අත්සන්කරුවන් අවධාරණය කර තිබේ.

GEN Z ඡන්දය දිනාගන්න රාහුල් ගාන්ධිගේ විලාසිතාව වෙනස් වෙයි

GEN Z ඡන්දය දිනාගන්න රාහුල් ගාන්ධිගේ විලාසිතාව වෙනස් වෙයි

පාකිස්තානයේ අභ්‍යන්තර නීතිමය ක්‍රියාවලියට මැදිහත් වීම ඔවුන්ගේ අරමුණ නොවන බවද සඳහන් කර ඇත. අර්ජුන රණතුංගට අමතරව සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ක්ලයිව් ලොයිඩ්, ඇලස්ටෙයාර් කුක්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, නසාර් හුසේන් සහ ඩේවිඩ් ගවර් ඇතුළු ප්‍රකට හිටපු ක්‍රිකට් නායකයන් පිරිසක් මෙම ඉල්ලීමට එක්ව සිටිති.

මාස හයක් ඇතුළත පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙත මෙම හිටපු ක්‍රිකට් නායකයන් පිරිස ඉදිරිපත් කළ දෙවැනි ඉල්ලීම මෙය වේ. මීට පෙර පෙබරවාරි මාසයේදීද ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ල පළ කළ අතර, ඔහුගේ ඇසක ඇති වූ ගැටලුවක් සහ බන්ධනාගාරය තුළ ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබිණි.

තායිවානයට මහ වැසි කඩා වැටෙයි- නගර රැසක පාසල් සහ රාජ්‍ය කාර්යාල වසා දමයි

තායිවානයට මහ වැසි කඩා වැටෙයි- නගර රැසක පාසල් සහ රාජ්‍ය කාර්යාල වසා දමයි