ජාතික ක්‍රීඩා දිනයට සමගාමීව වැඩසටහන් ....
මෙරටට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් ඔපිම්පික් තරගාවලියකදී රිදී පදක්කමක් දිනාගත්තේ 1948 ජූලි 31වෙනි දිනකයි. එම දිනය මෙලෙස ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කර තියෙනවා. හෙටට (31) යෙදෙන ක්‍රීඩා දිනයට සමගාමීව අද (30) දින ලංකාව පුරා සියලුම රාජ්‍ය ආයතනයන්හි ක්‍රීඩා දිනය සැමරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇති බව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා පැවසීය.
අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා එසේ පැවසුවේ හෙටට (31) යෙදී ඇති ජාතික ක්‍රීඩා දිනයට සමගාමීව ජාතික ධජය ඔසවා එම දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (30) පෙරවරුවේ පැවැත්වු අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා, "විශේෂයෙන්ම 70%ක් පමණ රාජ්‍ය සේවකයන් අද වන විට බෝ නොවන රෝගවලින් පීඩා විඳිනවා. ව්‍යායාම මදකම, ආහාර රටාවේ වෙනස්වීම් මේ සඳහා හේතු වී තිබෙනවා. සියලුදෙනාගේ සෑම කටයුත්තක්ම තීරණය වන්නේ කායික හා මානසික සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සමගයි. මේ සියල්ල වෙනස් කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට අද දවස හොඳ අඩිතාලමක් දමා තියෙනවා." යැයි දේශීය අහාරවල වැදගත්කම පෙන්වා දෙමින් අවධාරණය කළේය.
මිනිසාට ව්‍යායාමවල වැදගත්කම පිළිබඳ හරවත් දේශනයක් කරමින් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී, ක්‍රීඩා විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය හර්ෂණ කිංස්ලි ගුණතිලක මහතා පැවසුවේ, කාර්ය බහුලත්වයත් සමඟ මිනිසා ව්‍යයාම කෙරෙහි පෙළඹීම අඩු බවත් ලෙඩ රෝග සඳහා ආහාර බලපාන නිසා එදිනෙදා ගන්නා ආහාර මෙන්ම සෞඛ්‍යසම්පන්නව සිටීමට ව්‍යායාම අත්‍යවශ්‍ය බවත්ය.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඩී.ඒ.නයනානන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ අයේෂ් එම්. පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු එක්ව සිටියහ.
