කළටි පැහෙන්න හැදුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කළබල වෙන්නේ නැහැ....

srilanka politics mahinda amarawera
By Nimal Jul 16, 2021 03:14 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පරිණත පක්ෂයක්. අපි දාහතර දෙනෙක් ඒ පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ කළටි මෝරන්ඩ හදන කාලයක්. දේශපාලන පරිණතභාවයක් නැති සමහරු අපේ පක්ෂය හෑල්ලු කරළා කතා කෙරුවට අපි ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද ඔය අකළට පැහෙන්ඩ දඟළන කළටිවලට උත්තර දෙන්න අපිට අවශ්‍යතාවයක් නැතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ පසුගියදා අමාත්‍යාංශයේ පැවැති සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගිවු අවස්ථාවේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුව තුළ හෑල්ලුවට ලක් කිරීමට ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරනවා දැයි මාධ්‍ය වේදීහු පිරිසක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසීය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,වත්මන් ජනාධිපතිතුමා පත් කර ගැනීම සඳහාත්, මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කළ මෙහෙවර ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් ජාතික සංවිධායක ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහත්මයාත් හොඳින් දන්නවා.ඒ අය කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ අපේ සාමාජිකත්වය හෝ හෑල්ලුවට ලක් කරන්නේ නැහැ. ඒ වගේම අපේ ගැටළුවලට ඒ පක්ෂයේ නායකයින් විසඳුම් ලබා දී තිබෙනවා.අපි කතා කරන්නේ අපේ පුද්ගලික ප්‍රශ්න සම්බන්ධව නොවෙයි. අපි කතා කරන්නේ අපේ දිස්ත්‍රික් සංවිධායකවරු මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සිදුවන කෙණහිළිකම් පිළිබඳව. ඒවාට විසඳුම් ලබා දීමට අපි ඉහළ නායකත්වය සමග සාකච්ඡා කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා අපිට හමු වී සාකච්ඡා කරන්නත් අවස්ථාවක් ලබා දී තිබෙනවා.

අපි ගනුදෙනු කරන්නේ, සාකච්ඡා කරන්නේ ඉහළ නායකයින් සමග. ඒ වගේම අපේ පක්ෂය විසින් අපි දාහතර දෙනාට එදිනෙදා ගැටළුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. ඒ වගේම අපි නිතර මුණගැහිලා සාකච්ඡා කරනවා. සමහරු අපි හෑල්ලුවට ලක් කර කතා කරන බව අපි දන්නවා. නමුත් අපි ඒවාට අපි උත්තර දෙන්නට යන්නේ නැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි දේශපාලනික වශයෙන් පරිණතභාවයට පත් වූ පක්ෂයක් නියෝජනය කරන අපි ඉන් කළබලයට පත් නොවන නිසා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.