ත්‍රස්ත විරෝධී පනත ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පැහැදිලි කිරීමක්
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුව මෙලෙසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පවසනවා.
ඔහු මේ බව අවධාරණය කළේ රූපවාහිණි වැඩසටහනට එක්වෙමින්. ආණ්ඩුවේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් රට තුළ ඇතිවූයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් වන අතර මෙය මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන අතිශය මර්දනකාරී කෙටුම්පතක් බවයි පාර්ශ්ව රැසක් සඳහන් කරන්නේ.
මේ අතරතුරයි යෝජිත මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ කමිටුවක් ද පත් කළේ. හිටපු නීතිපතිවරයෙක් වන ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසකගෙන් කමිටුව සමන්විත වුණු අතර එම කමිටුවේ මූලික වාර්තාව නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වෙත භාරදී ඇති අතර කෙටුම්පතේ වගන්ති 20ක් අතිශය ගැටලුසහගත බව එහි සඳහන් වනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම වැඩසටහනට අද (28) එක්වුණා.
සිය අදහස පළ කළ පළමු අවස්ථාවයි එය ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ. කෙටුම්පතේ ගැටලුකාරී වගන්ති අතරින් වඩාත් අවධානය යොමු කරන කරුණු අතර පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තිය, නැතහොත් ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනය ඇතුළත් වන අතර එමෙන්ම පනත් කෙටුම්පතේ 10 වැනි වගන්තියේ අන්තර්ගත ත්‍රස්තවාදය දිරිගැන්වීම යන කාරණය ද සංශෝධනය කළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පැවසුවා.
පනත් කෙටුම්පතේ 11 වන වගන්තියේ ත්‍රස්තවාදී ප්‍රකාශන ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇත්තේ පටු අර්ථ දැක්වීමක් බවත් මේ නිසා රජයට අප්‍රසාදය පළකරන අහිංසක පුරවැසියෙක් වුවද අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
මෙහි 31 වන වගන්තියෙන් යම් සැකකරුවෙක් රඳවා තබාගැනීම සඳහා නියෝග නිකුත් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට බලය ලබාදීම සම්බන්ධයෙන් ද සංශෝධන සිදුවිය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිර්දේශ කර තිබෙනවා.
එම බලය මහජන ආරක්ෂක අමාත්‍යවරයා සතුව පැවතිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.