බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ පෙර පැවති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබූ එකඟතාවයට අනුව 2025 වසරේදී පැනවීමට නියමිතව තිබූ දේපල බද්ද, රජය ඉදිරිපත් කරන තෙවන අයවැය ලේඛනයට ද ඇතුළත් නොකර පස්සට දැමීමට කටයුතු කළ බවයි.
‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ තේමාව යටතේ අද (27) ගම්පහ පැවැති ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය/ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, තම ආණ්ඩුව බලයට පත්වන විට පෙර පැවති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ දේපලවලට අතිරේක බද්දක් පැනවීමට කටයුතු කර තිබූ බවයි.
එම එකඟතාවය අනුව 2025 වසරේදී එම බද්ද පැනවීමට තම රජය ද බැඳී සිටි අතර, ඒ වන විට "දේපල පවරා ගැනීමට එනවා" යැයි මතයක් ද පැතිර තිබූ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය,
“අපි එනකොට පැවති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවකට ඇවිල්ලා තිබුණා දේපල බද්දක් ගහන්න. දේපලවලට අතිරේක බද්දක් පවරන්න. ඒක අපිට නියමිතව තිබුණා 2025 වසරේ ඒ බද්ද පනවන්න අපි බැදිලා හිටියා. අපිට ආවේ මොකක්ද? අපිට ආවේ දේපල පවරගන්න එනවා කියලා. එතකොටත් ජාත්‍යන්තර වශයෙන් තිබුණ එකඟතාව තමයි දේපල බද්ද පනවන්න එකගවෙලා තිබුණා. මතක තියා ගන්න. අපි මේ ඉදිරිපත් කරන්නේ තුන්වැනි අයවැය ලේඛනය. තුන්වැනි අයවැය ලේඛනයෙත් දේපල බද්ද නෑ. දේපල පවරගන්නවා කියලා ආවේ. අපි අඩුම තරමේ දේපල උපය ගත්ත අයකුට තර්කයක් ගොඩනගනවා. දේපල උපයාගත්තේ බදුගෙවලා ඉතිරි ආදායමෙන් නම් ඒ උපයාගත්තු දේපලට එයා බදු ගෙවලා තියෙනවා. ඒ තර්කය මත අපි දේපල බද්ද පස්සට දැම්මා.”