බිරිඳ රට සේවයට යවා, දියණියව අඹුකමට අරන්...පියෙක් විසින් කළ අහස පොළොව නුහුලන අපරාධයක් එළියට !

sri lanka arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 11, 2022 05:08 AM GMT
krishani

krishani

Report

බිරිඳ විදෙස්ගතව සිටියදී සිය 10 හැවිරිදි බාලවයස්කාර දියණියව අඹුකමට ගත් 46 හැවිරිදි පියෙකුට වසර 18ක සිර දඬුවමක් ලබාදුන් පුවතක් වාර්තා වෙනවා.

රුපියල් 30,000ක දඩයක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා 09 වැනිදා සවස නියෝග කර තිබෙනවා.

මෙලෙස සිර දඬුවම්, දඩ හා වන්දි නියම කෙරුණේ හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකුට.

චූදිත පියා සිය බිරිඳ විදෙස්ගත රැකියාවකට ගොස් සිටියදී බීමත්ව පැමිණ 2015.04.01 දින සිට අවස්ථා කිහිපයකදීම සිය බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර තිබෙනවා.

පියාගේ කරදර ඉවසාගත නොහැකිව දියණිය විසින් මේ පිළිබඳව ප්‍රදේශයේ ළමා සමාජයක භාරකාරියකට පවසා ඇති අතර පසුව ඔවුන් විසින් දැරිය හම්බන්තොට පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු හම්බන්තොට පොලිසිය විසින් චුදිත පියා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී පැවති මූලික නඩු විභාගයෙන් පසු 2021.05.20 වන දින නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදී.

ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිත අදාල අධි චෝදනා තුන සඳහාම වැරදිකරු කරන ලදී.

එහිදි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා චුදිතට දඬුවම් ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙලෙස පැවසුවා.

ගරු ස්වාමීනි චුදිත විසින් සිදුකර ඇත්තේ බරපතළ වරදක්. මෙය සමාජයේ කිසිවෙකුත් අනුමත කරන ක්‍රියාවක් නොවෙයි.

ඒ අනුව චූදිතට දඬුවම් නියම කිරීමේදී වින්දිත දැරියගේ වයස පිළිබඳවත්, අදාළ චූදිත වින්දිත දැරියගේ පියා යන්න පිළිබඳවත් අවධානය යොමු කරන ලෙසත්, සමාජයට ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ ඉහළ දණ්ඩනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි පවසා තිබෙනවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලු හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට එක් චෝදනාවකට වසර 18 බැගින් චෝදනා 03 සඳහා වසර 54ක සිර දඬුවමක් නියම කෙරුණු අතර එම දඬුවම් කාලය වසර 18කින් සමගාමීව ගෙවී යායුතු බවටද නියම කර තිබෙනවා.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා 03 සඳහා රුපියල් 30,000ක දඩයක් නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් තවත් මාස 18ක සිට දඬුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා චුදිතට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් අමතර මාස 24ක සිර දඬුවමක්ද නියම කර ඇති බවයි වාර්තා වෙන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now