ශ්‍රී ලංකා–ඉන්දුනීසියා සබඳතා නව මට්ටමකට උසස් කිරීමට එකඟතාව
ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුහම්මද් අනිස් මැට්ටා, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ආරාධනයෙන් අප්‍රේල් 23 සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.
අප්‍රේල් 24 දින පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී, අරුන් හේමචන්ද්‍ර මහතා ඉන්දුනීසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා උණුසුම්ව පිළිගෙන, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි අවධාරණය කළේය.
මෙහිදී, වෙළඳ පරිමාව වැඩි කිරීම මගින් ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම මුහම්මද් අනිස් මැට්ටා මහතා පෙන්වා දුන් අතර, ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීම සඳහා දේශපාලන උපදේශන සහ ඉහළ මට්ටමේ සංචාර වැඩිදියුණු කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.
එමෙන්ම, ජනතාව අතර සම්බන්ධතා, සමුද්‍රීය සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡා කෙරුණි. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම අවස්ථාවේදී ඉන්දුනීසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවූ අතර, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ රාජ්‍ය තාන්ත්‍රික හා නිල ගමන් බලපත්‍ර සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් අවසන් අදියරේ පවතින බව දෙපාර්ශ්වය සඳහන් කළහ.
මෙම ගිවිසුම් ඉක්මනින් අවසන් කර, ද්විපාර්ශ්වික උපදේශන සහ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම් පැවැත්වීමටද බලාපොරොත්තු පළ කෙරුණි. තවද, කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත් දෙපාර්ශ්වය, සාමය, ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා ඔවුන්ගේ එකඟතාව නැවත තහවුරු කළහ.
2027 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සැමරීමට නියමිතව ඇති බැවින්, ඉහළ මට්ටමේ හුවමාරු වැඩිදියුණු කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය විය.
මෙම සංචාරය අතරතුර, නියෝජ්‍ය අමාත්‍ය මැට්ටා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද හමුවී තිබේ. මෙම සාකච්ඡාවලට ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිවරයා, ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.