ඇනලොග් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

Report

ඇනලොග් භූමිෂ්ඨ රූපවාහිනී නාලිකා සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය යටතේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මෙම තීන්දුව ගෙන තිබේ.

වර්තමානයේ රජය සතු රූපවාහිනී නාලිකා 05ක් ඇතුළුව මුළු නාලිකා 24ක් ඇනලොග් භූමිෂ්ඨ පද්ධතිය ඔස්සේ විකාශය කරනු ලබන්නේ ආයතන 16කට නිකුත් කර ඇති බලපත්‍ර යටතේය. නමුත් සංඛ්‍යාත වර්ණාවලිය දැනටමත් උපරිම ධාරිතාවයට පැමිණ තිබීම නිසා තවදුරටත් ඇනලොග් බලපත්‍ර ලබාදීම කළ නොහැකි බව බලධාරීහු පෙන්වා දෙති.

මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, රට පුරා පැතිර ඇති ඇනලොග් සම්ප්‍රේෂක 46ම මුළුමනින්ම ඉවත් කර ඒ වෙනුවට තනි ඩිජිටල් භූමිෂ්ඨ විකාශන පද්ධතියක් (Digital Terrestrial Television - DTT) හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටී.

ජපාන රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ඩිජිටල් භූමික ව්‍යාපෘතිය 2029 වන විට අවසන් කිරීමට නියමිතය. ව්‍යාපෘතිය නිමාවීමෙන් පසු තවත් වසර දෙකක් ඇතුළත ඇනලොග් විකාශනය සම්පූර්ණයෙන්ම නතර කර ඉවත් කෙරේ.

ඒ අනුව, ඇනලොග් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීම වහාම නතර කෙරේ. අනාගතයේ භූමිෂ්ඨ රූපවාහිනී සඳහා සංඛ්‍යාත වෙන් කිරීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසිනි.

මෙම පියවරෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී නැරඹීම ඉහළ තත්ත්වයේ ඩිජිටල් යුගයකට මාරු කිරීමේ අවසන් අදියර ආරම්භ වී ඇතැයි බලධාරීහු සඳහන් කරති.