දුම්කොළ භාවිතයට වැට බඳින්න විශ්වවිද්‍යාල සහ සෞඛ්‍ය අංශ එක්වෙයි

Report

ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය සහ දුම්පානය අවම කිරීමේ උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශ්ව විද්‍යාල, සෞඛ්‍ය වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන එක්ව කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකාවේ දුම්පානය නැවැත්වීමේ වැඩසටහන් ශක්තිමත් කිරීම සහ ඒවායේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණි.

Gallery

“Respire” ගෝලීය සෞඛ්‍ය මුලපිරීම යටතේ සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාවේ වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් සහභාගී වී තිබුණි.

උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ දුම්කොළ භාවිතය අඩු කිරීම සෞඛ්‍ය අරමුණක් පමණක් නොව, ජාතික සංවර්ධනය සඳහාද අත්‍යවශ්‍ය කාරණයක් බවයි. දුම්කොළ ආශ්‍රිත රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය, ආර්ථිකය සහ පවුල් රැසක් දැඩි බලපෑම් වලට ලක්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී දුම්පානය නැවැත්වීම සඳහා විද්‍යාත්මක සහ සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේදයන් පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි. අනාගත පරම්පරාව දුම්කොළ ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් දුම්කොළ පාලන ප්‍රතිපත්ති සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍ය බව විශේෂඥයින් අවධාරණය කළහ.