'Endgame' වාර්තාවත් කුඩු- 'Spider-Man: Brand New Day' බොක්ස් ඔෆිස් ඉතිහාසය උඩුයටිකුරු කරයි!
වසර පහක බලා සිටීමකින් පසු ටොම් හොලන්ඩ් රංගනයෙන් දායක වන Spider-Man: Brand New Day චිත්‍රපටය සිනමාහල් වෙත පැමිණීමත් සමඟම පෙරදසුන් ප්‍රදර්ශනවලින් වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
සෝනි පික්චර්ස් නිවේදනය කරන පරිදි, බදාදා රාත්‍රියේ පැවති ප්‍රයිම් වීඩියෝ පූර්ව ප්‍රවේශ දර්ශන සහ බ්‍රහස්පතින්දා දහවල් ආරම්භ වූ පෙරදසුන් ප්‍රදර්ශනවලින් පමණක් චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 72ක ආදායමක් උපයා ඇත.
ඩෙඩ්ලයින් වාර්තා කරන පරිදි, එය සෝනි චිත්‍රපටයක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම පෙරදසුන් ආදායම මෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් පසු වාර්තා වූ හොඳම පෙරදසුන් ආදායමද වේ.
ඒ සමඟම, මීට පෙර Avengers: Endgame චිත්‍රපටය ඩොලර් මිලියන 60කින් තබා තිබූ පෙරදසුන් දේශීය ආදායම් වාර්තාවද බිඳ දැමීමට Spider-Man: Brand New Day සමත්ව තිබේ. එමෙන්ම, Spider-Man: No Way Home චිත්‍රපටය පෙරදසුන් ප්‍රදර්ශනවලින් උපයා තිබූ ඩොලර් මිලියන 50ක ආදායමද නව චිත්‍රපටය ඉක්මවා ගොස් ඇත.
මෙම ප්‍රබල ආරම්භය හේතුවෙන් චිත්‍රපටය ආරම්භක සිකුරාදා දිනයේදී පෙරදසුන් ආදායමද සමඟ ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇතැයි බොක්ස් ඔෆිස් විශ්ලේෂකයෝ පුරෝකථනය කරති. විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් දෙපිරිසෙන්ම ඉහළ ප්‍රතිචාර හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය Rotten Tomatoes වෙබ් අඩවියේ විචාරකයන්ගෙන් සියයට 90ක සහ ප්‍රේක්ෂකයන්ගෙන් සියයට 98ක අගයක් ලබාගෙන ඇත.

ඒ අනුව සජීවී ක්‍රියාදාම Spider-Man චිත්‍රපට අතරින් ප්‍රේක්ෂක ප්‍රසාදය ඉහළින්ම දිනාගත් නිර්මාණයක් ලෙසද එය සැලකේ.
මේ අතර, ටොම් හොලන්ඩ් සහ සෙන්ඩායාගේ තවත් නව චිත්‍රපටයක් වන The Odyssey ද ලොව පුරා සාර්ථක ප්‍රදර්ශනයක් පවත්වාගෙන යමින්, මේ වන විට දේශීයව ඩොලර් මිලියන 344ක් සහ ජාත්‍යන්තරව ඩොලර් මිලියන 362ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
Spider-Man: Brand New Day චිත්‍රපටයේ කතාවෙන් දිග හැරෙන්නේ, කිසිවෙකුටත් තම සැබෑ අනන්‍යතාව මතක නොමැති තත්ත්වයක පීටර් පාකර් පූර්ණ කාලීනව ස්පයිඩර් මෑන් ලෙස අපරාධවලට එරෙහිව සටන් කරන ආකාරයයි.
ටොම් හොලන්ඩ් සමඟ සෙන්ඩායා, සාඩි සින්ක්, ජේකොබ් බටලන්, ජෝන් බර්න්තාල්, ට්‍රැමෙල් ටිල්මන්, මයිකල් මැන්ඩෝ සහ මාර්ක් රෆලෝ ද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.