හෙට සිට 10 දක්වා විශේෂ දුම්රිය සේවයක් - මෙන්න විස්තරේ
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරන්නේ ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණෙන සැඳැහැවතුන් සඳහා විශේෂ දුම්රිය ධාවන වාරයක් හෙට (05) සිට ලබන 10 වැනිදා දක්වා යොදවා ඇති බවයි.
ඒ් අනුව, දැනට ධාවනය වන දුම්රියවලට අමතරව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත්, කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් මෙම දුම්රිය ධාවනය වනු ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
අවිස්සාවේලේලේ සිට කොළඹ කොටුව දක්වා පිටත්වන දුම්රිය, අවිස්සාවේල්ලෙන් උදෑසන 7.15 ගමන ආරම්භ වන බවත් නැවත කොළඹ කොටුවේ සිට පස්වරු 1.00ට අවිස්සාවේල්ල බලා ධාවනය වීමට නියමිත බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
රඹුක්කනින් පස්වරු 6.30ට පිටත්වන දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 1.00ට පිටත් වනු ඇති අතර අලුත්ගමින් පස්වරු 7.10ට පිටත්වන දුම්රිය මරදානෙන් පෙරවරු 2.00ට පිටත්වීමට නියමිතව ඇත. මෙම විශේෂ දුම්රිය ගමන් වාර හෙට (05) සිට ලබන 10 වැනිදා දක්වා දිනපතා ධාවනය වන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.