විදේශයක රැකියා කරන්න ඉන්න ජනතාවට අනතුරු ඇඟවීමක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් දරුණු වංචාවක්
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා නොමිලේ ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සහ රැකියා අපේක්ෂකයින්ගෙන් පුද්ගලික තොරතුරු ලබා ගනිමින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නම, නිල ලාංඡනය සහ ඡායාරූප අනිසි ලෙස භාවිතා කරන වංචනික වෙබ් අඩවියක් පිළිබඳව කාර්යාංශය මහජනතාවට අනතුරු අඟවා ඇත.
මෙම වංචනික ක්‍රියාවලිය බරපතල සයිබර් ආරක්ෂණ තර්ජනයක් විය හැකි බවත්, කාර්යාංශයේ අනන්‍යතාවය අවසරයකින් තොරව භාවිතා කරමින් එම ආයතනය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමක් බවත් කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
විවිධ ගැටළු නිසා රියදුරු බලපත්‍ර ගන්න බැරි වුණාද? ආබාධ සහිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර - විශේෂ ගැසට් සංශෝධනක්
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා කාර්යාංශයේ අනුමැතිය ලත් නිල බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස මහජනතාවට විශ්වාස කළ හැකි ආකාරයේ තොරතුරු ඉදිරිපත් කරමින්, මෙම වංචනික සබැඳිය (link) මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බව කාර්යාංශය සඳහන් කරයි.
මෙම සබැඳිය හරහා පරිශීලකයින්ව මාර්ගගත (online) අයදුම්පතක් වෙත යොමු කෙරෙන අතර, එහිදී සම්පූර්ණ නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී/පුරුෂ භාවය සහ ජංගම දුරකථන අංකය ඇතුළු පුද්ගලික තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
කාර්යාංශයේ අනන්‍යතාවය අවසරයකින් තොරව භාවිතා කිරීම සහ තහවුරු නොකළ මාර්ගගත පෝරමයක් හරහා පුද්ගලික තොරතුරු රැස් කිරීම මගින් පුද්ගලයින් බරපතල අවදානම්වලට ලක් විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ඊට 'ෆිෂින්' (phishing) ප්‍රහාර, අනන්‍යතා සොරකම් කිරීම්, අන් අය ලෙස පෙනී සිටීම, වංචනික ලෙස දත්ත රැස් කිරීම, 'සමාජ ඉංජිනේරුකරණය' (social engineering) සහ පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම වැනි අවදානම් ඇතුළත් වේ.
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සොයන තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙම වංචනික ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත්, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබාගෙන ඒවා අනිසි ලෙස භාවිතා කිරීමේ අරමුණක් ඊට තිබිය හැකි බවත් කාර්යාංශය වැඩිදුරටත් අනතුරු අඟවයි.
එවැනි වංචනික වෙබ් අඩවි හරහා ලබා දෙන පුද්ගලික තොරතුරු සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ අවදානමක් පවතින බැවින්, රැකියා අපේක්ෂකයින් සහ මහජනතාව එවැනි සබැඳි, වෙබ් අඩවි හෝ තහවුරු නොකළ මාර්ගගත පෝරම හරහා කිසිදු පුද්ගලික තොරතුරක් ලබා නොදෙන ලෙස කාර්යාංශය දැඩිව අවවාද කරයි.
මෙම වංචනික ක්‍රියාකාරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත දැනටමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවත් කාර්යාංශය ප්‍රකාශ කළේය.
එබැවින්, ඊශ්‍රායලයේ රැකියා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, බඳවා ගැනීමේ අවස්ථා පිළිබඳ තොරතුරු කාර්යාංශයේ නිල මාර්ග සහ තහවුරු කළ මූලාශ්‍ර හරහා පමණක් ලබා ගන්නා ලෙසත්ය.