ලොව වටා ගිය සංචාරකයන්ගේ සිහිනය බිඳ දැමූ නෞකාව සිංගප්පූරුවේදී අත්අඩංගුවට
ලොව වටා වසර ගණනාවක සංචාරයක් සඳහා පිටත්ව ගොස්, මගීන් අතරමං කරමින් අතරමඟදී මෙහෙයුම් නතර කළ සුඛෝපභෝගී මගී නෞකාවක් සිංගප්පූරුවේදී අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
'ද ඔඩිසි' (The Odyssey) නම් මෙම නෞකාව 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරින් සිය සංචාරය ආරම්භ කර තිබුණා.
රටවල් 150ක් ආවරණය කරමින් වසර තුනහමාරක පමණ ලෝක සංචාරයක් සඳහා එය සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, එහි මෙහෙයුම් පවත්වාගෙන ගිය ඇමරිකාව පදනම් කරගත් 'විලා වී රෙසිඩන්සීස්' (Villa Vie Residences) සමාගම ඉන්ධන පිරිවැය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙහෙයුම් හදිසියේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පසුගිය මාසයේදී කාම්බෝජයේ සිහනුක්විල් වරාය නගරයේදී මගීන් 200කට ආසන්න පිරිසකට නෞකාවෙන් බැස යාමට සිදුවුණා.
නෞකාව මේ වන විට සිංගප්පූරු වරාය සීමාවේ නැංගුරම්ලා ඇති බව එරට වරාය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. අධිකරණ නියෝගයක් අනුව නෞකාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි රැඳී සිටින කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය හා සුබසාධන කටයුතු යහපත් මට්ටමක පවතින බවත් බලධාරීන් සඳහන් කර තිබෙනවා.
කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු නෞකාවේ ණය හිමියන් විසින් කළමනාකරණය කරනු ලබන බවද සිංගප්පූරු වරාය අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෝටර් රථයක මිලට ලෝකය වටා යන නිවසක්
මෙම නෞකාවේ සංචාරය සඳහා මගීන්ට විවිධ පහසුකම් හඳුන්වා දී තිබූ අතර, තමන්ගේ කාමරය සම්පූර්ණයෙන් මිලදී ගැනීම, වසර පහක පදිංචි පහසුකමක් ලබාගැනීම හෝ දින කිහිපයක සංචාර සඳහා කාමරයක් කුලියට ගැනීම ඒ අතරට ඇතුළත් වුණා.
නෞකාවේ කාමරයක ස්ථිර පදිංචි අයිතිය ලබාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 120,000ත් 440,000ත් අතර මුදලක් අය කර තිබූ බව සඳහන්. එමෙන්ම මාසිකව ඩොලර් 3,500ක මුදලකට කාමර කුලියට ගැනීමේ අවස්ථාවද ලබාදී තිබුණා.
සමාගමේ නිර්මාතෘ මයිකල් පීටර්සන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෝටර් රථයක මිලට ආසන්න මුදලක් වැය කරමින් ලෝකය වටා ගමන් කරන නෞකාවක තමන්ගේම නිවසක් හිමිකර ගැනීමට මෙයින් අවස්ථාව සැලසෙන බවයි.
ආරම්භයේ සිටම ගැටලු රැසක්
කෙසේ වෙතත්, මෙම නෞකාවේ සංචාරය ආරම්භයේ සිටම විවිධ ගැටලුවලට මුහුණ දී තිබෙනවා.
අලුත්වැඩියා කටයුතු සහ ලේඛන කටයුතුවල ප්‍රමාදයන් හේතුවෙන් නෞකාවේ පිටත්වීම මාස හතරකින් කල් දැමීමටද සිදුව තිබුණා.
වියට්නාමයේ රැඳී සිටි අවස්ථාවකදී සමාගම විසින් සැපයුම්කරුවෙකුට ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් ආහාර සැපයුම් අත්හිටුවා තිබූ බවත්, ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රදේශයේ වෙළෙඳසැල්වලින් ආහාර මිලදී ගැනීමට සිදුවූ බවත් CBS පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම සමාගම මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය පිළිබඳව පසුගිය අගෝස්තු මාසයේදී මගීන් දැනුවත් කර තිබූ අතර, සංචාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මගීන්ගෙන්ම මුදල් රැස් කිරීමටද සිදුව තිබූ බව වාර්තා වනවා.
මේ අතර, ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ආසියාවේ ඇතැම් ප්‍රදේශවලදී එක් කාමරයක් සඳහා මාසික ඉන්ධන පිරිවැය ඩොලර් 1,800 සිට ඩොලර් 8,000 දක්වා ඉහළ ගිය බව සමාගම ඔක්තෝබර් 27 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණා.
ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට සැලකිය යුතු පියවර ගත්තද, අසාමාන්‍ය ලෙස ඉහළ ගිය ඉන්ධන පිරිවැය පියවා ගැනීමට එම ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවූ බවයි සමාගම සඳහන් කර තිබුණේ. කාම්බෝජයේදී අතරමං වූ මගීන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් සොයාදීමට කටයුතු කරමින් සිටින බවද සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.