ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වැනි සැසිය සාර්ථක නිමාවට
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කොළඹදී පැවති ශ්‍රී ලංකා - පාකිස්තාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ (Joint Economic Commission - JEC) 13 වැනි සැසිය ඊයේ (28) සාර්ථකව අවසන් විය.
දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා දේශපාලන නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ඉහළ මට්ටමේ සාකච්ඡාවේදී, ද්විපාර්ශ්වික සබඳතාවන්හි නව ප්‍රබෝධයක් ඇති කරමින් වෙළෙඳාම, ආයෝජන හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට පොදු කැපවීමක් පළ කෙරිණි.

මෙහිදී සාකච්ඡා කළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක්;
වෙළෙඳාම හා ආයෝජන කර්මාන්ත, කෘෂිකර්මාන්තය හා පශු සම්පත් බැංකු හා මුදල්, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණය සෞඛ්‍යය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් ආර්ථිකය සමුද්‍රීය කටයුතු, ධීවර කර්මාන්තය හා ගුවන් සේවා රේගු සහයෝගිතාව, ආරක්ෂක නිෂ්පාදන, බදුකරණය හා තොරතුරු හා සංස්කෘතිය
දෙපාර්ශ්වයම ද්විපාර්ශ්වික වෙළෙඳාමේ තවමත් භාවිතා නොකළ විශාල විභවයන් පවතින බව පිළිගෙන, නවෝත්පාදන, තාක්ෂණ හුවමාරුව, ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීම හා පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම හරහා තිරසාර වර්ධනයක් ලබා ගැනීම අවධාරණය කළහ.

ව්‍යාපාරික මණ්ඩල, වාණිජ මණ්ඩල, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) හා රාජ්‍ය-පෞද්ගලික ආයතන අතර සමීප සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා විය.
මෙම සැසියේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ඒකාබද්ධ වැඩ කණ්ඩායමක් (Joint Working Group on IT and Digital Economy) පිහිටුවීමට එකඟ වූ අතර, එමගින් නවීන තාක්ෂණ හා ඩිජිටල් පරිවර්තනයේදී සහයෝගීතාව වැඩි දියුණු කිරීමට තීරණය කෙරිණි.
එසේම, කර්මාන්ත සහයෝගීතාව විස්තාරණය කිරීම, ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩි කිරීම, ඖෂධ කර්මාන්තයේ ආයෝජන අවස්ථා (පාකිස්තාන ඖෂධ සමාගම්වලට ශ්‍රී ලංකාව ආරාධනා කිරීම) ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාවට එකඟතාවන් ලබා ගන්නා ලදී.

එකඟ වූ තීරණ නියමිත කාලය තුළ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ඉදිරි ක්‍රියාකාරකම් සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් හා ක්ෂේත්‍ර විශේෂිත කමිටු පිහිටුවීමට දෙපාර්ශ්වය එකඟ විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා ද, පාකිස්තානය වෙනුවෙන් වාණිජ අමාත්‍යාංශයේ ෆෙඩරල් ලේකම් ජාවාඩ් පෝල් මහතා හා අතිරේක ලේකම් සබීනා කුරේසි මහත්මිය ද තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලට නායකත්වය දුන්හ.

පාකිස්තාන පැත්තෙන් ප්‍රධාන සහකාර හරූන් අක්තර් ඛාන් මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව මෙම සැසියේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.
මෙම සැසිය සුහදශීලී මට්ටමකින් අවසන් වූ අතර, දෙරටේ පොදු සමෘද්ධිය වෙනුවෙන් ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් හා ශක්තිමත් කිරීමට එකඟතාවන්ට අත්සන් තැබීමද සිදු විය.