සජබේ ලොක්කෙක්ගෙන් ට්‍රම්ප්ට තවත් ලිපියක් - හේතුව මෙන්න
ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට ස්තූති කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (07) දින පස්වරුවේ ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපියක් භාර දී ඇත.
ඔහු අඳාළ ලිපියෙන් නයිජීරියාවේ පීඩාවට පත් කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් දක්වන නායකත්වය සහ කැපවීම අගය කර තිබෙනවා.


එසේම මෙහිදී නයිජීරියාවේ සිදුවන ප්‍රචණ්ඩත්වය, මිනීමැරුම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ට්‍රම්ප් ගත් තීරණාත්මක මැදිහත්වීම සහ හඬක් නොමැති පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශංසාවට ලක් කර ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ආගමික සුළුතරයන්ගේ ආරක්ෂාව සහ මානව ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවේ නියෝජිතයෙකු වශයෙන් තමන් අගය කරන බවයි.
තවද ජනවාර්ගික සහ ආගමික ගැටුම් අත්විඳ ඇති ශ්‍රී ලංකාව වැනි රටකට, සාමය සහ සහජීවනය පිළිබඳ ට්‍රම්ප්ගේ දැක්ම බෙහෙවින් වැදගත් වන බවත්, එය ලොව පුරා පීඩිත ජනතාවට බලාපොරොත්තුවක් බවත් එහි දක්වා ඇත.