'කාන්තාරයේ නෞකාව' ඔටුවන්ටත් දරා ගන්න බැරි උණුසුම ගැන හද සසල කරන කතාවක්

By Malith Madushan Jul 23, 2026 05:10 AM GMT
Report

කාන්තාරයේ දැඩි උෂ්ණත්වයට හොඳින් ඔරොත්තු දෙන සතුන් ලෙස ප්‍රසිද්ධ ඔටුවන් පවා මේ වන විට දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අධික උණුසුමට ගොදුරු වෙමින් සිටින බව නවතම පර්යේෂණ සහ විශේෂඥයින්ගේ වාර්තා පෙන්වා දෙයි.

ලොව උණුසුම්ම සහ වියළිම ප්‍රදේශවලින් එකක් ලෙස සැලකෙන ඉතියෝපියාවේ ඊසානදිග අෆාර් (Afar) කලාපයේ ඔටුවන් ඇතිකරන ගොවීන් පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

අෆාර් ප්‍රදේශයේ ඔටුවන් 500කට ආසන්න සංඛ්‍යාවක් ඇතිකරන අලි උමර් නම් ගොවියා BBC වෙත පවසා ඇත්තේ, අධික උණුසුම හේතුවෙන් ඔටුවන්ගේ පාදවල බිබිලි මතුවීම, ඇස්වලින් කඳුළු ගැලීම, උණුසුම් වැලි හේතුවෙන් සම හා රෝමවලට හානි සිදුවීම වැනි ගැටලු දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

‘කැරපොත්තු ජනතා පක්ෂ’ විරෝධතා උණුසුම් වෙද්දී මෝදි රජයට දැඩි පීඩනයක් එල්ලවෙයි

‘කැරපොත්තු ජනතා පක්ෂ’ විරෝධතා උණුසුම් වෙද්දී මෝදි රජයට දැඩි පීඩනයක් එල්ලවෙයි

ඔහු පවසන්නේ පසුගිය මාසයක කාලය තුළ පමණක් අධික උණුසුම හේතුවෙන් ඔටු පැටවුන් අටදෙනෙකු මියගොස් ඇති බවයි. මීට පෙර සිසිල් සුළඟ ගෙන ආ සුළං පවා දැන් උණුසුම රැගෙන එන බව ඔහු සඳහන් කරයි.

විද්‍යාඥයන් සහ සත්ව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඔටුවන් අතර උණුසුම් ආතතිය, විජලනය, ශාරීරික වෙහෙස, ආසාදන සහ රෝග පැතිරීම වැඩිවෙමින් පවතින බවයි.

එමෙන්ම උෂ්ණත්වය ඉහළ යාම නිසා ජලය හා වෘක්ෂලතා අඩුවීම සහ සෙවණ සහිත ස්ථාන අහිමිවීමද ඔටුවන්ගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ලෝකයේ තනි කුබ්බයක් සහිත ඔටුවන්ගෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් උතුරු අප්‍රිකාව සහ අප්‍රිකාවේ හෝර්න් කලාපයේ ජීවත් වෙති.

ගවයන් හා වෙනත් සතුන්ට වඩා නියඟය සහ උණුසුම දරාගැනීමේ හැකියාව නිසා පසුගිය වසරවල බොහෝ ගොවීන් ඔටුවන් ඇතිකිරීමට යොමුවී තිබුණි.

එහෙත් 2025 වසරේ ඉතියෝපියාවේ සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඔටුවන්ගේ සෞඛ්‍යය, කිරි නිෂ්පාදනය සහ ප්‍රජනන හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.

අසල්වැසි සෝමාලියාවේ තත්ත්වය ඊටත් වඩා බරපතළ බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එරට සිදුකළ සමීක්ෂණයකට අනුව ඔටුවන් ඇති කරන පවුල්වලින් සියයට 46කට ආසන්න සංඛ්‍යාවක් නියඟය හේතුවෙන් ඔටුවන් මියයාමේ ගැටලුවට මුහුණ දී සිටින අතර, ඇතැම් ප්‍රදේශවල එම අගය සියයට 70 ඉක්මවයි.

කෙන්යාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරී හසන් නුයා ගුයෝ පවසන්නේ පසුගිය වසර දෙක තුළ පමණක් අධික උණුසුම හේතුවෙන් ඔටුවන්ගේ මරණ සියයට 15කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

උණුසුම් ආතතිය හේතුවෙන් ඔටුවන් විවිධ ආසාදනවලට ගොදුරු වීමද ඉහළ ගොස් ඇතැයි ඔහු සඳහන් කරයි. උතුරු අප්‍රිකාවේ ඇල්ජීරියාවේ සිදුකළ නවතම අධ්‍යයනයකින්ද ගිම්හාන තාප තරංග සමයේ ඔටුවන්ගේ මරණ සැලකිය යුතු ලෙස ඉහළ යන බව හෙළි වී තිබේ.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසන්නේ 1981 වසරෙන් පසු උතුරු අප්‍රිකාවේ තාප තරංග නිරන්තරයෙන් ඉහළ යමින් පවතින අතර, 2024 වසරේදී කලාපයේ රටවල් කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා වාර්තා වූ බවයි.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 40ක් පමණ දක්වා උෂ්ණත්වයට ඔටුවන් හොඳින් ඔරොත්තු දුන්නද, අංශක 50ට ආසන්න හෝ ඊට වැඩි උෂ්ණත්වය පවතින විට ඔවුන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන බවයි.

එවැනි තත්ත්වයන් යටතේ ආහාර ගැනීම අඩුවීම, බර අඩුවීම, කිරි නිෂ්පාදනය පහත වැටීම, ප්‍රජනන ගැටලු, වකුගඩු ආබාධ, පේශි හා අස්ථි රෝග මෙන්ම පරපෝෂිත ආසාදන ද ඉහළ යන බව පර්යේෂකයන් සඳහන් කරයි.

ඉතියෝපියාවේ විශේෂඥයන් පවසන්නේ උතුරු ප්‍රදේශවල ජලය සහ තණබිම් හිඟවීම හේතුවෙන් බොහෝ ඔටු ගොවීන් සිය සතුන් දකුණු ප්‍රදේශ වෙත ස්ථිරවම ගෙන යාම ආරම්භ කර ඇති බවයි.

මෙය සාමාන්‍ය සෘතුමය සංක්‍රමණයක් නොව, ජීවිකාව රැකගැනීම සඳහා සිදුකරන ස්ථිර ස්ථාන මාරුවක් බවද ඔවුන් අවධාරණය කරයි.

මේ අතර, 2020 සිට 2023 දක්වා වාර්තා වූ දරුණු නියඟයෙන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්වෙමින් සිටින අප්‍රිකාවේ හෝර්න් කලාපය මේ වන විට නැවතත් දැඩි වියළි කාලගුණයකට මුහුණ දෙමින් සිටින බව ඔක්ස්ෆෑම් සංවිධානය සඳහන් කරයි.

විශේෂඥයන්ගේ අවධාරණය වන්නේ, කාන්තාරයේ අවසන් බලාපොරොත්තුව ලෙස සැලකෙන ඔටුවන් පවා අද වන විට දේශගුණික විපර්යාසවල සෘජු ගොදුරක් බවට පත්ව ඇති අතර, අධික උණුසුම ඔවුන්ගේ ජීවිතයටද බරපතළ තර්ජනයක් වී ඇති බවයි.

අධික රස්නෙට පිරිමින්ට කොට කලිසම් අදින්න ටෝකියෝ රජය අවසර දෙයි - කාන්තවන් අඩක් විරුද්ධ හේතුව මෙන්න

අධික රස්නෙට පිරිමින්ට කොට කලිසම් අදින්න ටෝකියෝ රජය අවසර දෙයි - කාන්තවන් අඩක් විරුද්ධ හේතුව මෙන්න



GalleryGalleryGallery