ලබන මාසයේ සිටපෙර පාසලේ සිටම ලිංගික දැනුම. - නව පොත් සැකසීම ඇරඹෙයි.
ලබන මාසයේ සිට පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව මේ වන විටත් ලිංගික දැනුම ලබා දීම සඳහා පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට අදාළව පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඊට වෛද්‍යවරු,ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඒ සඳහා සහය දක්වනු ලබනවා.
එම සංසදයේ සභාපතිනී , පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න කියා සිටියේ, ඒ ඒ ශ්‍රේණිවලට අදාළව සකස් කෙරෙන පොත්වල අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් වන අතර මෙම පොත් ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙන් බවයි.
එමෙන්ම සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව දෙන බවත්, පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබා ගන්නා බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
විෂය නිර්දේශ සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම ප්‍රගතිය අනුව වැඩපිළිවෙළ ආරම්භ කරන නිශ්චිත දිනයක් තීරණය කරන බවත් පවසන සභාපතිවරිය තව දුරටත් කියා සිටියේ, ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බවයි.
