සාගලගේ අත්සනින් ලොක්කෝ 14ක් මාරු කළ පොලිස් පරීක්ෂක..

By Sewvandhi Apr 23, 2023 02:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

 55 හැවිරිදි පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14දෙනෙකු විවිධ පොලිස්වලට ස්ථාන මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

එම ලිපිය සම්බන්ධයෙන් සැක සිතූ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යයතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් සිදුකර තිබේ.

එවැනි ලිපියක් සාගල රත්නායක මහතා විසින් යොමුකර නොමැති අතර ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු විසින් පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ සැකකරු විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha