S&P Global Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නංවයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන සහ කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා ඇත.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය, ස්වෛරී බැඳුම්කර ඇතුළුව, පසුගිය කාලයේ සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody's යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවූවත්, S&P Global Ratings එතෙක් එසේ ඉහළ දැමීමට කටයුතු කර නොතිබිණි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම මෙම ණය ශ්‍රේණි ඉහළ නොදැමීමට ප්‍රධාන හේතුව ලෙස S&P Global Ratings පෙන්වා දී තිබුණි.
අද (19) නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා ගොස් ඇති බවත්ය.
එසේම, ශ්‍රීලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළු පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටින නමුත්, වත්මන් තත්ත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබාගැනීමට නොහැකි යැයි S&P Global Ratings විශ්වාස කරන බවත් ඔවුන් සඳහන් කරයි.
මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පිළිබඳ ඉදිරි දැක්ම වඩාත් හොඳින් පිළිබිඹු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ දැමූ බවත්, දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම 'CCC+/C' ලෙස තහවුරු කළ බවත් S&P Global Ratings පවසයි.