ගංගා රැසක් පිටාර මට්ටමේ..මහ ඔයත් පිටාර ගලයි..දිවයිනේ ප්‍රදේශ රැසකට ගංවතුර නිවේදන..! (VIDEO / PHOTOS)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහඔය පිටාර ගලා, ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මහඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල, වරදගොල්ල,නාල්ල, දිවුල්දෙණිය, වැලිහින්ද, අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව,මීගමුව හා කටාන යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ,නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට (08) සවස 3.30ට පමණ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කර සිටියේ, එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට පස් කන්දෙන් කොටසක් කඩා වැටී ඇති බවය.
නුවර එලිය මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පස් කන්ද කඩා වැටී තිබු මාර්ගය ටිකෙන් ටික පදා, මේ වන විට එක් මංතීරුවක් විවෘත කර ඇති බව ද ඒ මහතා පැවසීය.
පස් කන්ද කඩා වැටීමත් සමග මාර්ගයේ දිගු පෝළිම් දක්නට ලැබුණු බව ද අප වාර්තාකරු සඳහන් කළේය. ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර ,දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) දිනයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.
පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම,කළු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එමෙන්ම ඒ අවට සිටින පහත්බිම්වල ජනතාවට අවදානයෙන් පසුවන ලෙසද දැනුම් දෙනවා
නිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, මේ හේතුවෙන් අදාළ ගංගා අවට වෙසෙන පහත්බිම්වල ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
මේ අතර ,නුවරඑලිය වලපනේ ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වලපනේ පදියපලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
අදාවල ඇල්ල බෙලිවුල්ඔයට ගලා බසින අතර බෙලිවුල්ඔයේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



