තරුණ පිරිසට එන්නත් නොදීමට කොවිඩ් කමිටුවේදී හෙළි වූ හේතුව මෙන්න

sri lanka Covid 19 vaccination
By Sithumi Sep 17, 2021 03:30 PM GMT
Sithumi

Sithumi

Report

විවිධ දුර්මත හේතුවෙන් තරුණ තරුණියන් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට මැළිකමක් දක්වන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. ඔවුන් ඒ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය. 

 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ගුණසේන මහතා, “18 වැඩි 20ට වැඩි අයට ෆයිසර් එන්න ලබාදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත පිළිබඳව අනිවාර්යෙන් අවධානය යොමුකරන්න. දැන් එංගලන්තයේ සිදුකළ පරික්ෂණවලදී ප්‍රතිශක්තිකරණ මට්ටම 88%කින් ආරම්භ වූ ප්‍රතිශක්තිකරණ මට්ටම මාස 5ක් යනවිට ෆයිසර් එන්නතේ 74%කට අඩුවෙලා. 

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ 77%න් ආරම්භ වී 67%කට අඩුවෙලා. එතකොට සුපිරි එන්නතක් කියලා එකක් රෝගය සම්බන්ධයෙන් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එහෙම කියලා නැහැ. තරුණයින්ට මතයක් ගිහිල්ලා තියෙනවා එන්නත ලබාගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය සහ දරුවන් ලැබීමේ ප්‍රශ්න ඇති බව. නමුත් ලෝකයේ අදට තිබෙන දත්ත බැලුවාම කිසිදු තැනක එසේ සඳහන් වූ දත්ත නැහැ. 

“ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, “මොකක් හරි මීඩියා කැම්පේන් එකකින් කියපු විදිහට වැරිදි වැටහීම් ගිහින් තිබෙනවා. දරුඵල නැතිවෙයි සහ ලිංගික අප්‍රාණිකත්ව ඇතිවෙයි කියලා ඒ වැරදි වැටහීම නැතිකරන්න ඕනේ කැම්පේන් එකක් කරලා. “ එහිදී ජනාධිපතිවරයා පැවසුවේ මාධ්‍ය යොදාගෙන එම මත දුරුකිරීම ට කටයුතු කරන ලෙසය. මීට අමතරව වයස අවුරුදු 15 ත් 19ත් අතර වයසේ පසුවන දරුවන්ට හා වයස අවුරුදු 12 න් ඉහළ ආබාධ සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබේ. 

 පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද මේ වසරේ පළමු හා දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ. 

 සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල හා ස්වයං රැකියාවල නියැලෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරිනීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. පාසල් දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී අවධානයට යොමු වූ අතර සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලු දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. 

 එන්නත්කරණය පිළිබඳව විශේෂඥ කමිටුව දැනට අනුමැතිය ලබාදී ඇත්තේ වයස අවුරුදු 15 ත් 19ත් අතර වයසේ පසුවන දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමටය. මීට අමතරව වයස අවුරුදු 12 ත් 19ත් අතර සංජානනීය ආබාධ සහ වෙනත් ආබාධවලින් පෙළෙන දරුවන්ට එනම් තැලිසීමියා රෝගය හා උපතේදීම ආබාධ සහිත වූ දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදීමට එම කමිටුව අනුමැතිය ලබාදුනි.