ගැසට්ටුවක ප්‍රමාදයෙන් සිදු වූ දේ..සියල්ලන්ගේම බලාපොරොත්තු කඩ වෙයි ද..?
රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (27) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ රසායනික පොහොර ආනයනය කිරීම සඳහා යළි අවසර ලබාදෙන බවය.
ඒ සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය කිරිම තහනම් කරමින් අප්‍රේල් මස 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර මේ හේතුවෙන් රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ පොහොර සමාගම් දැඩි අර්බුදයකට පත්ව සිටී.
රසායනික පොහොර ආනයනය කිරීමේ දී යූරියා සහ ටී.එස්.පී පොහොර වර්ග ආනයනය කිරීම සඳහා අවසර හිමි වුවද එම්.ඕ.පී නමැති පොහොර වර්ගය ආනයනය කිරීම සඳහා අවසර හිමිව නොමැති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් "අද දෙරණ" ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ රසායනික පොහොර නැවත ආනයනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන තෙක් ඒවා ආනයනයට අදාළ අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බවය.
රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදුන්න ද පෙර පැවති තත්ත්වයට නොව ඒවා ආනයනය කිරීමේ දී යම් සීමා කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මේ අතර ජනතාව මැසිවිලි නගන්නේ එළවළු සිල්ලර මිල ගණන් ඉහළ යමින් පවතින බවටය. මේ අතර අම්පාර, උහන කුමාරිගම ප්‍රදේශයේ ගොවීන් මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර භාවිතයෙන් කුඹුරු වැපිරීම ආරම්භ කර තිබුණද ගොයම් ගස් ප්‍රමාණවත් තරම් වර්ධනය වී නොමැති බවට ඔවුන් මැසිවිලි නගයි.
එම ප්‍රදේශයේ ඇතැම් ගොවීන් පවසන්නේ ගොවිජන සේවා නිලධාරීන් තමන්ට කාබනික පොහොර යැයි පවසමින් රසායනික පොහොර ලබා දී ඇති බවය. මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පළතුරු වෙළෙඳුන් මේ වන විට ගැටලු කිහිපයකට මුහුණ දී තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ වෙළෙඳ සංකීර්ණයේ පහළ මාලයේ එළවළු අලෙවිය සඳහා පමණක් වෙන්කර ඇති වෙළෙඳසැල්වල පළතුරු ද අලෙවි කිරීම හේතුවෙන් තම වෙළෙඳසැල් වෙත පාරිභෝගිකයින් නොපැමිණෙන බවය.
මෙම ගැටලුවට විසඳුම් ඉල්ලමින් පළතුරු වෙළෙදුන් පාගමනින් පැමිණ වෙළෙඳ සංකීර්ණයේ එළවළු අලෙවිසැල් ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |