"ජනතාව බය කරන්න එපා.." ජනපතිගෙන් නිලධාරින්ට දැඩි අවවාදයක්

covid19 isolated quarantine travel restriction Gojabhaya Rajapaksha
By Sewvandhi May 21, 2021 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර සිටියා. කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ලෙස කටයුතු කිරිමට අවශ්‍ය උපදෙස් මෙහිදී ජනාධිපතිතුමා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරිමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය.

ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබුවා.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබුවා.

PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නා.

ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරුණා. මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි.

විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේ.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේ. සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිතුමන් දැනුවත් කළා.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිතුමා සඳහන් කළේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now