ඉදිරියේදී ඉන්ධන හිඟයක්..? බලශක්ති අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්
අද (15) සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. "
පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව සපුගස්කන්ද තෙල්පිරිපහදුව වසා දැමීමට අපි තීරණය කළා.
මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකරන්නේ, ජලයෙන් ඒ නිසා අපට දැවිතෙල් අවශ්‍යතාවයක් නැතැයි කියලා විදුලිබල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තියෙනවා. ගුවන් යානා පැත්තෙන් කෙටි දුර ගුවන් ගමන් සඳහා ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබාගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට කොළඹින් ලබා ගන්න වෙන්නේ.
ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවිතෙල් සහ ගුවන්යානා තෙල් 56%ක් නිෂ්පාදනය කරන බොරතෙල් ආනයනය කිරීම නතර කරලා ඒ වෙනුවෙන් වැයවන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවලට යොමුකර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අපි මේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම බොරතෙල් ආනයනය යළි ආරම්භ කරනවා.
උපරිම වශයෙන් දින 50ක් පිරිපහදුව වසා දැමීමට සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බොරතෙල් හිඟයක් ඇති විය හැකි බවත්, එය රටේ ඉන්ධන හිඟයක් ඇති වීමට හේතු නොවන බවත් බොරතෙල් පාවිච්චි කරන්නේ තෙල් සංස්ථාව පමණක් නිසා රටේ ජනතාව ඒ ගැන කලබලයට පත් නොවිය යුතු බවත් අපි සැප්තැම්බර් 29 වගේ ඈත දිනක රටට කිව්වා.
පිරිපහදුව වසා දැමීම රටට විශේෂ ප්‍රකාශයක් ලෙස නොකිව්වේ එය අභ්‍යන්තර කාරණයක්. රටේ තෙල් සැපයුමට කිසිසේත් ම බලනොපාන තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් නිසයි අපි රටට කිව්වේ නැත්තේ.