සජබෙන් පෙත්සමක් - බේරුවල බලය පිහිටුවීමත් නවතී
බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම මඟින් අද (19) සවස ආරම්භ කිරීමට තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව ප්‍රකාශ කරයි.
අඳාළ සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරිස් යටතේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
එසේ වුවත් බේරුවල නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 දෙනෙක්ට ඒ පිළිබඳව දන්වා එවන ලිපිය නොලැබී ඇති බව සඳහන්.
එම නිසා සමගි ජන බලවේගයේ අඳාළ මන්ත්‍රීවරුන් 4දෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එයට පිළිතුරු ලෙස අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ ලිපි නිසියාකාරව ලබාදී දැනුවත් කිරීමෙන් පසුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බවටයි.
ඒ අනුව සමගි ජන බලවේගයෙන් බේරුවල නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අද දින බේරුවල නගර සභා භූමියට පැමිණි ස්වාධීන අපේක්ෂක කණ්ඩායම හා සමගි ජන බලවේගයේ කණ්ඩායම නගර සභා භූමියෙන් ඉවත්ව යන ආකාරය දැකගන්නට ලැබී ඇත.
එසේම අද දින නියමිත සභා වාරය සහ සභාව පිහිටුවීම නොපැවැත්වෙන බව දැන්වූ ලේඛනය නාගරික කොමසාරිස්තුමියගේ අත්සන ඇතිව අලවා තිබෙනවා.
පැවති පළාත් පාලන මැතිවරණයේදී බේරුවල නගර සභාවෙන් ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 7ක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක් දිනාගෙන ඇති අතර ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 3ක් පමණක් බව වාර්තා වේ.
