ලස්සනම කැම්පස් එකට වෙච්ච් දෙයක් විනාස වෙලා ගිහින් - බිලියන හයකට වැඩි හානියක්[PHOTOS]
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව ප්‍රකාශ කළා. ඒ අනුව ඉකුත් නොවැම්බර් 27 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන් හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වූ අග්‍රාමාත්‍යවරිය දෙසැම්බර් 07 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ බව පවසා ඇත.
එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත්තේ අධ්‍යයන ගොඩනැගිලි, ශිෂ්‍ය නේවාසික පහසුකම් සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පරීක්ෂා කිරීමයි. මෙහිදී කළමනාකරණ, කෘෂිකර්මවිද්‍යා සහ පශු වෛද්‍ය පීඨවලට මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, CDCE, ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාක සහ ක්‍රීඩා පිටිවලට සිදු වී ඇති හානිය පිළිබඳව විශ්වවිද්‍යාල නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කර තිබුණා.
එසේම නිලධාරීන් විසින් ව්‍යසන තත්ත්වය මඟින් අධ්‍යයන කටයුතු අඩාළ වීම මෙන්ම සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට සිදු වූ අපහසුතාවය පිළිබඳව ද අග්රාමාත්යවරියව දැනුවත් කළා. පාලන අංශ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පරිගණක 110 කට වැඩි ප්‍රමාණයක්, අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ, විභාග ලියකියවිලි සහ තොරතුරු තාක්ෂණ සේවාදායක හතරක් අහිමි වී ඇති බවත් හානි ඇස්තමේන්තු කිරීමේ දී රුපියල් බිලියන 6 ඉක්ම වූ හානියක් සිදු වී ඇති බවයි.
මහවැලි ගඟ ආසන්නයේ පිහිටි නේවාසිකාගාරවලින් සිසුන් 750 කට ආසන්න සංඛ්‍යාවක් වහාම ඉවත් කිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල පාලන අංශය පැසසුමට ලක් කළ අතර මෙම හදිසි ආපදා තත්ත්වය අතරතුර විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටි සිසුන් 11,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ධෛර්යය ද ඇගයීමට ලක් කළා.
තවද ප්‍රවේශය සීමා කරමින් සන්නිවේදනයට දැඩි ලෙස බාධා ඇති වූ අවස්ථාවක ආහාර, ජලය සහ අත්‍යවශ්‍ය සැපයුම් සැපයීම වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකා හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දේශීය පරිත්‍යාගශීලීන්ට ද අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළා.
මේ අතර ඉංජිනේරු කණ්ඩායමක් විසින් තහවුරු කර ඇත්තේ විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් සඳහා හදිසි අලුත්වැඩියාවන් අවශ්‍ය වීම හැර, විශ්වවිද්‍යාල ගොඩනැගිලි යහපත් තත්වයෙන් පවතින බවයි. ඒ අනුව විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු දෙසැම්බර් 15 දක්වා අත්හිටුවා තිබෙනවා.
මේ අතර විශ්විද්‍යාල කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ සිසුන්ගේ අධ්‍යයන කටයුතු හා දෛනික චර්යාවන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහාය ලබා දීමට අවශ්‍ය පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපති සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඇත.
එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් ජලය, විදුලිය සහ සිසුන් සඳහා ආරක්ෂිත ප්‍රවේශ මාර්ග වැනි අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම, දැඩි ලෙස හානි වූ පීඨ සහ රසායනාගාර යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කිරීම, ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම, සහ ගං ඉවුරු ආරක්ෂා කිරීම, ජලාපවහනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්විය හැකි යටිතල පහසුකම් නැවත ස්ථානගත කිරීම වැනි දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක ඇතුළත් ක්ෂණික සහන ලබා දීමට කටයුතු සැලසීම සහ දිගුකාලීන ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නියෝග මාලාවක් නිකුත් කර තිබුණා.
ඒ අනුව ඇය පෙරට වඩා ශක්තිමත්, ආරක්ෂිත ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ගොඩනැගීමට සහාය ලබා දීමට රජය සූදානම් බව සඳහන් කළ අතර රජයේ උපකාර කඩිනම් කරන මෙන් එම අදාළ ආයතනවලට ද උපදෙස් දී ඇත.





