නිදන කාමරයේදී වෙඩි තබා මාධ්‍යවේදිනිය ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවට - පාකිස්තානය කැළඹෙයි

Report

පාකිස්තාන රූපවාහිනී මාධ්‍යවේදිනියක වන රබියා අහ්සාන්, රාවල්පින්ඩිහි පිහිටි සිය නිවසේදී ඉරිදා මියගොස් සිටියදී සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන අහ්සාන් තාහීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මූලික පොලිස් පැමිණිල්ලට (FIR) අනුව, 41 හැවිරිදි රබියා අහ්සාන් ඉරිදා පස්වරු 3.00ට පමණ ඇයගේ නිදන කාමරය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඇයගේ මව සහ සහෝදරිය ද නිවසේ සිට ඇති අතර, ඔවුන් මිදුලේ රැඳී සිට ඇති බව සඳහන් වේ.

පාකිස්තාන මාධ්‍ය ආයතනයක් වන 'සමා' (Samaa) වාර්තා කර ඇත්තේ, තම බිරිඳ ඝාතනය කළ බවට අහ්සාන් තාහීර් පාපොච්චාරණය කර ඇති බවයි. වෙඩි හඬ ඇසීමත් සමඟ රබියාගේ සහෝදරිය වන අල්විනා නිදන කාමරය වෙත දිව ගොස් ඇති අතර, එහිදී ඇය දැක ඇත්තේ රබියා ලේ විලක් මැද බිම වැටී සිටින ආකාරයත්, ඇයගේ සැමියා අත පිස්තෝලයක් තිබූ ආකාරයත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පැමිණි පොලිස් නිලධාරීන් මළ සිරුර පරීක්ෂා කිරීමේදී, රබියාගේ බෙල්ලට පහළින් සහ පිටුපස දකුණු පස වෙඩි වැදී ඇති තුවාල දෙකක් හඳුනාගෙන තිබේ.

  පන්ජාබ් අධිකරණ වෛද්‍ය විද්‍යා අධිකාරිය (PFSA) විසින් ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන .30 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ ද සිද්ධිය වූ ස්ථානයෙන් සොයාගෙන ඇත.

මේ අතර, 'ඩෝන්' (Dawn) පුවත්පත වාර්තා කළේ, රබියාගේ නිවසේ සේවය කරන පිරිමි සේවකයෙකු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ වෙඩි තැබීම අහම්බෙන් සිදුවූවක් බව තාහීර් සඳහන් කළ බවයි.

කෙසේ වෙතත්, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අදාළ පිස්තෝලය සඳහා නීත්‍යානුකූල ගිනි අවි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් ඉදිරිපත් කිරීමට තාහීර් අපොහොසත් වී තිබේ.

සිද්ධියට අදාළ තොරතුරු සහ මූලික සාක්ෂි සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ (PPC) 302 වැනි වගන්තිය යටතේ ඝාතන චෝදනා ගොනු කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන ජනාධිපති ආර්යාව වන අසීෆා භූතෝ-සර්දාරි සිය දැඩි කනගාටුව පළ කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැක තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල්, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඇය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මාධ්‍යවේදිනී රබියා අහ්සාන් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ජනාධිපති ආර්යාව දැඩි කනගාටුව පළ කරන බවත්, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවත්ය.

සත්‍ය කරුණු අනාවරණය කර ගැනීම, වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සහතික කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද එහි සඳහන් වේ. තවද, මාස තුනකටත් අඩු කාලයකට පෙර තවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ කාන්තාවක වන හිනා ජාවේද් ද ඝාතනයට ලක්වූ බව සිහිපත් කළ ජනාධිපති ආර්යාව, එම ඝාතනය සම්බන්ධ විමර්ශනවල ප්‍රතිඵල ද මෙතෙක් අපේක්ෂිත මට්ටමට පැමිණ නොමැති බව පෙන්වා දී ඇත.

"මෙවැනි සිදුවීම් බරපතළ අවධානයක් සහ වගවීමක් ඉල්ලා සිටිනවා. කාන්තාවන්ට තම ජීවිත පිළිබඳ බියකින් තොරව ජීවත් වීමටත්, රැකියාවල නිරත වීමටත් හැකි විය යුතුයි," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. දියණියන් දෙදෙනෙකුගේ මවක වන රබියා අහ්සාන්, පාකිස්තානයේ 92 News රූපවාහිනී නාලිකාවේ සේවය කර ඇති බව වාර්තා වේ.

ඇයගේ සැමියා වන අහ්සාන් තාහීර් විදේශගත පාකිස්තානුවන්ගේ පදනමේ (OPF) නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන බව ද සඳහන් වේ. මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති අතර, සිද්ධියේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී.

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 29.2ක ශුද්ධ ලාභයක්! - රජයෙන් දුන් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයේ රහස මෙන්න

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 29.2ක ශුද්ධ ලාභයක්! - රජයෙන් දුන් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයේ රහස මෙන්න

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් හදිසි නිවේදනයක් - අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරන හැටි සහ අවසන් දිනය මෙන්න

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් හදිසි නිවේදනයක් - අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරන හැටි සහ අවසන් දිනය මෙන්න

Gallery