මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), මහ බැංකු අධිපතිවරයා ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල මෙවැනි වංචනික අන්තර්ගතයන් ප්‍රචාරය වන බව නිරීක්ෂණය කර ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ අනුකරණය කරමින් සකස් කර ඇති මෙම AI වීඩියෝ සහ දැන්වීම් හරහා මූල්‍ය උපදෙස්, ආයෝජන අවස්ථා සහ විවිධ මූල්‍ය ප්රතිලාභ ප්‍රවර්ධනය කරන බවද එම නිවේදනයේ දැක්වේ.
මෙවැනි ව්‍යාජ ප්‍රචාරණවලට නොරැවටෙන ලෙසත්, ඒවායේ සඳහන් මූල්‍ය උපදෙස්, ආයෝජන යෝජනා හෝ වෙනත් ප්‍රකාශ මත පදනම්ව කිසිදු මූල්‍ය තීරණයක් නොගන්නා ලෙසත් මහ බැංකුව මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි.
එමෙන්ම, AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන නොමඟ යවන සුළු දැන්වීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙමින්, මෙවැනි ව්‍යාජ වීඩියෝවල උදාහරණ ඇතුළත් මහජන දැනුවත් කිරීමේ නිවේදනයක් ද මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මූල්‍ය තීරණ ගැනීමට පෙර මහ බැංකුවේ නිල සන්නිවේදන නාලිකා ඔස්සේ අදාළ තොරතුරු තහවුරු කරගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
තවද, මෙවැනි ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම් තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා ඒවා නැවත බෙදාහැරීමෙන් වළකින ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයන්ට මහ බැංකුව උපදෙස් දී ඇත.
අපට ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නැහැ ඒ සඳහා තිබූ කාලය අවසන්” - ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ ගෑස් මිල යළිත් ඉහළ යයි