වත්මන් රජය බාල බෙහෙත් මාෆියාව දිගටම ගෙනියන්න පත්වුණේ නෑ - සජිත්ගෙන් චෝදනාව
සමගි ජන බලවේගයේ ‘හුස්ම’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය මූලික රෝහලට රුපියල් ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, වත්මන් රජයට ජනවරම ලැබුණේ පැවති රජයේ බාල බෙහෙත් වංචාව දිගටම ගෙන යෑමට නොවන බවයි.
මෙහිදී වකුගඩු රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 38ක් වටිනා Dialog+ Single Pump Hemodialysis යන්ත්‍රයක් සහ රුපියල් ලක්ෂ 7.6ක් වටිනා Bluedot RO System 600Gpd යන්ත්‍රයක් ප්‍රදානය කෙරුණු අතර, මීට වසර කිහිපයකට පෙර මෙරට සිදුවූ අන්ත දූෂිත බාල බෙහෙත් ජාවාරම හෙළිදරව් කළේ සහ එවක සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ සමගි ජන බලවේගය බවද ඔහු සිහිපත් කළේය.
එදා සිදුවූ බාල බෙහෙත් වංචා නව රජය සමඟ නතර වේ යැයි සිතුවද, වත්මන් රජය යටතේද එම මාෆියාව ක්‍රියාත්මක වන බවත්, ඒ නිසා පසුගියදා බාල එන්නත් හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු මියගිය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. එදා බාල බෙහෙත්වලට විරුද්ධව සමගි ජන බලවේගය කෑගැසූ විට වත්මන් රජයේ එවක මන්ත්‍රිවරුන් පවා සහය දුන් නමුත්, අද ඔවුන්ම බාල බෙහෙත් සහ එන්නත් ජනතාවට බෙදා දෙන බවද ඔහු අවධාරණය කළේය.
මෙම ඖෂධ මාෆියාව නිසා දහස් ගණනකගේ ජීවිත අහිමි වන බවත්, බෙහෙත් රටට ගෙන්වීම, පරිභෝජනයට සුදුසු බව සහතික කිරීම සහ පරීක්ෂණ කිරීම සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකරන බැවින්, මෙම බෙහෙත්වල ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන හරහා පරීක්ෂා කළ යුතු බවත්, තවමත් මෙරට බෙහෙත් පරීක්ෂණ ආයතනයක් නොමැති බැවින් එවැන්නක් ස්ථාපිත කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මෙන්ම වත්මන් ඇමැතිවරයාටද මෙම වගකීමෙන් බැහැර විය නොහැකි බවත්, මෙම ජාවාරමට සම්බන්ධ සියලුදෙනාට විරුද්ධව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් මහපාරට බැස සටන් කරන බවත් ඔහු කීය. බාල බෙහෙත් ජාවාරම විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට විපක්ෂයේ සහය ලබාදෙන බවත්, මූලික මානව අයිතිවාසිකමක් වන සෞඛ්‍ය සඳහා සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.