ළමා අපයෝජන පිටුදැකීමට ජාතික දත්ත පදනමක්

child harassment mudhitha vidhanapathirana child security foundation provincial centers data centers
By Sewvandhi Jul 21, 2021 01:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ළමා අපයෝජන පාලනය වෙනුවෙන් විධිමත් ජාතික දත්ත පදනමක් සකසන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත් විදානපතිරණ පවසනවා.

මෙම ජාතික දත්ත පදනම ලබන අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට සූදානම් කර ඇති බවයි ඔහු කියාසිටියේ. ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිකය් සකස් කිරීමට ළමාරක්ෂක අධිකාරිය ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.

ළමා අපයෝජන වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධිකාරිය රජයට උපදෙස් දෙනු ලබනවා. අපචාරවලින් ආරක්ෂා වීම වෙනුවෙන් ළමා අයිතිවාසිකම් සහ ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම දිස්ත්‍රික්ක 25ට අයත් ළමාරක්ෂක අධිකාරී කාර්යාලවලට පැවරී ඇති වගකීමක්.

සභාපතිවරයා සඳහන් කළේ ළමා අපයෝජන වැළැක්වීමට සහ අපචාරවලට ගොදුරු වූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී එම කාර්යය සඳහා අදාළ අමාත්‍යංශවල පළාත් සභාවල පළාත් පාලන ආයතනවල දිසා හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ රජයේ හා පෞද්ගලික අංශයේ සංවිධානවල උපදෙස් විමසන බවයි.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ආසියානු සහ යුරෝපා රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවයි. නවීන තාක්ෂණයත් සමග අපචාර හඹා යෑමේ අවස්ථා බහුල වීම හේතුවෙන් සිදුවීම් වාර්තාවීම වැඩි වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ළමා අපයෝජන පිටුදැකීම සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන ඇති අතර නීති දැඩි කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ළමා අපයෝජන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පාර්ශවයකට හෝ කිසිදු බලපෑමකට යටත් නොවන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම දරුවන් විශාල වශයෙන් අන්තර්ජාල පරිශීලනය සඳහා යොමුවී ඇති යුගයක ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවීම හා ළමා අපයෝජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ද විශාල වගකීමක් ඇති බව ඔහු කියාසිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now