මාලිංග නැවතත් ක්‍රිකට් වලට එක්වෙයි..? නාමල්ගෙන් ආරාධනාවක්

cricket sri lanka cricket Lasith malinga
By Sithumi Sep 18, 2021 04:52 PM GMT
Sithumi

Sithumi

Report

 එළඹෙන නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්වූයේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට තමන් සතුටු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. 

 අද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අතිශය වැදගත් කාර්යභාරයක් සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව යම්කිසි සැලැස්මකට අනුව සංචිතයේ තේරීම් කටයුතු සිදුකර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස එම තේරීම් කටයුතුවලට අතපෙවීමක් හෝ බලපෑමක් සිදුනොකරන බවත් ඔහු අවධාරණය කළා. 

 අතීතයේ ක්‍රීඩා අමාත්‍යවරුන් සිදුකල වැරදි නිසා උද්ගත වූ අයහපත් ප්‍රතිඵල මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම් සහ පරාජයන්ට මූලිකව බලපෑ බවත් තමන් ද එම ගොන්නට එක්වීමට කිසිදු අදහසක් නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියා. 

මේ අතර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුනා. එයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් සහ කණ්ඩායම් නායක දසුන් ශානක එක්ව සිටියා. 

 මෙහිදී ලෝක කුසලාන සංචිතයට නම්කර සිටියදී ආබාධයකට ලක්වූ ලහිරු මදුශංක වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙනුත් විමසීමක් සිදුකෙරුනා. 

 එමෙන්ම මෙහිදී ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන මූලික සංචිතයට අමතරව තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු ඩුබායි රාජ්‍ය වෙත පිටත් කර හැර යැවීමටත් තීරණය කෙරුණු අතර එම ක්‍රීඩකයන් සම්බන්ධ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ. මෙලෙස අතිරේකව කණ්ඩායමට එක්කෙරෙන ක්‍රීඩකයන්ගේ සියලු වියහියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන බවයි ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කර සිටියේ.

ReeCha