තැන් තැන්වල කියවන්නැතුව එදාට උසාවි වරෙල්ලා - නාමල් 159ටම අභියෝග කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, තම නඩු දිනය නැවත මතක් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී මාධ්‍යවේදියා සඳහන් කළේ, නලින්ද ජයතිස්ස මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාට ගමින් ගමට සංචාරය කළද නඩු දිනයට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ප්‍රකාශ කර ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ තම නඩු දිනය සටහන් කරගෙන ඇති අතර එය මතක තබාගෙන කටයුතු කරන බවයි.
“මගේ නඩු දවස පොතේ ලියාගෙන තියෙනවා. නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඒක මතක් කරලා දුන්නා කියලා මම මතක තියාගන්නම්. නඩු දිනය තියෙන්නේ ලබන මාසේ 7 වැනිදා. ඊට කලින් නැවතත් මතක් කළොත් හොඳයි. මේ දවස්වල රැස්වීම්වලට ආරාධනා බොහොමයක් ලැබෙන නිසා වැඩ වැඩියි. අමතක වුණොත් ප්‍රශ්නයක්”
යනුවෙන් ඔහු සඳහන් කළේය.
තවද, එදින උසාවියට පැමිණ සාක්ෂි විමර්ශන ක්‍රියාවලිය නිරීක්ෂණය කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 159 දෙනාටම ආරාධනා කරන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
“තැන් තැන්වල කතා කරනවාට වඩා එදාට උසාවියට ඇවිත් සාක්ෂි විමසීම් පිළිබඳව අවධානය යොමු කරන්න. එවිට ඔවුන්ටම ඔවුන්ගේ පොලිසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි”
යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.