මේ ගීතය අගය කරන්න දෙයක් නෑ..ඒ ළමයා ඉන්දියාවේ වස්තුවක් උනාවේ..ලංකාවේ වස්තුවක් නෙවෙයි..Yohani ගැන ආචාර්යවරයෙකු ගෙන් සැර ප්‍රකාශයක්..?(VIDEO)
යොහානි ද සිල්වා කියන නම මේ වෙනකොට ඔබට නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. "මැණිකේ" නිසාම ලෝකෙම කතා කරන යොහානි, පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ සංචාරයක නිරත වුණෙත්, ජාත්‍යන්තරව ලද ඒ ප්‍රසාදය නිසාම යි. ඒ ගමන තුළ ඇයට බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්වත්, ලාංකීය සම්භවයක් සහිත සුරූපී නිළි ජැක්ලින්වත් මුණ ගැසුණා.
කෙසේ වෙතත්, ඇගේ "ඉන්දීය සංචාරය" ගැන මහත් කතාබහක් කෙරෙන මොහොතක, ආචාර්ය නලින් ද සිල්වා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. යොහානි ද සිල්වාව මෙරට ජේෂ්ඨ කලාකරුවන් අගය නොකිරීම නිවැරදි බවයි ආචාර්යවරයා, යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර ඇත්තේ. යොහානි ව "ජනප්‍රිය කිරීම" ඉන්දියාවේ සැලසුමක් අනුව සිදුවන්නක් බවද ආචාර්ය නලින් ද සිල්වා සඳහන් කරනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,
"...අපේ ජාතික සම්පත් ඉන්දියාවට දෙන එක ගැන කතාවක් යනවා... ඒකට එරෙහිව ජන මතයක් සිංහල සමාජයේ තියෙනවා. ඒ මතය නැති කරන්නයි මේක කරන්නේ. ඒත් මම හිතන් නෑ සිංහල මිනිස්සු මෙච්චර මෝඩයි කියලා. ඉන්දියාව ගැන කළකිරීම කුවේණිගේ කාලේ ඉඳන් තියෙන්නේ. අනාධිමත් කාලයක් තිස්සේ අපි ඉන්නවනේ.. මම හිතන් නෑ සිංදුවක් ජනප්‍රිය වුණා කියලා ඉන්දියාවට මේ මිනිස්සුන්ව දිනාගන්න පුළුවන් කියලා..."
"මේක ඉන්දියාවේ සැලැස්මක් අනුව කෙරෙන වැඩක්. ආණ්ඩුවට තේරුමක් නෑ මං හිතන්නේ මේ වෙලාවෙදී. ආණ්ඩුව යමක් කරන්නේ එක්කෝ ඉන්දියාව සතුටු කරන්න, නැත්තම් මේ රටේ ඡන්දදායකයන් සතුටු කරන්න. ආණ්ඩුව හිතනවා ඇති ඡන්දදායකයින් මේ වැඩේට කැමතියි කියලා. සමහරවිට අපේ මිනිහෙක්ට තැනක් හම්බ වෙනවට අපේ මිනිස්සු කැමතියිනේ. ලෝකය කිව්වට ලෝකයම නෙවෙයිනේ මේ, ඉන්දියාව විතරනේ.
අපේ අර කතාවක් තියෙනවානේ, අපි බඩගින්නේ හිටියත් අපි කියනවනේ අපේ මාමාගේ පුතාටයි හිල්ටන් එක අයිති කියලා. අපි එහෙම ආඩම්බරකාර ජාතියක්නේ. සමහරවිට ආණ්ඩුව ඉන්දියාව සතුටු කරන්න කරන වෑයමක් ද දන්නෙ නෑ. මම හිතන විදිහට ආණ්ඩුව හිතනවා, මේ දැරියට ඉන්දියාව කැමැත්තක් දක්වනවා කියලා..."
"මම සංගීතඥයෙක් නෙවෙයි. මට ගායනා කරන්නත් බෑ. ඒත් මට තේරෙන දේ මේකේ අගය කරන්න තරම් දෙයක් නෑ. සංගීතඥයෝ මේ ගැන කතා කරන්නෙ නැත්තම් මම ඒ ගැන ඒ අයට දොස් කියන් නෑ. හැබැයි ඒ අය ඉදිරිපත් වෙලා මම කියන මතයම කියන එකකුත් නෑ. නමුත් ඒ අය මේක අගය කරන් නැත්තම් ඒකට හේතුව සංගීතය පැත්තෙන් අගය කරන්න දෙයක් නෑ..."
"මැණිකේ" ගීතය හෝ එහි මුල් නිර්මාණය පිළිබඳව හෝ යන්තම්වත් අවබෝධයක් නොමැති සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ නිවේදකයා, මෙම ගීතය යොහානි ගායනා කිරීමෙන් එයට "සමලිංගික" ගීතයක් ලෙස වැරදි අර්ථකතනයක් සමාජය තුළ නිර්මාණය වන බව ද සඳහන් කළා. "මැණිකේ මගේ හිතේ නිසා, කවුරු හරි හිතන්න පුළුවන් මේක මේ සමලිංගික ගීතයක් කියලා..." එයට ප්‍රතිචාර ලෙස, ආචාර්ය නලින් ද සිල්වා පැවසුවේ,
මේවා මේ තේරුමක් නැති වැඩනේ. බොහෝ ගීතවල ඒ අයට තේරෙන දෙයක් තියෙනවා කියලා මට හිතෙන් නෑ. ඒක නිසා මේ දැරිය කියන එකට තේරුමක් තියෙනවා කියලත් මම හිතන් නෑ. එයා ඉතින් ඒක ගයනවා, ප්‍රසිද්ධ වෙනවා, සන්තෝස වෙනවා. සමහර විට බොලිවුඩ් එහෙමත් යයි. ඒකත් හොඳයි..." "ඒ ළමයා ඉන්දියාවේ වස්තුවක් වුණාවේ. එයා ලංකාවේ වස්තුවක් නෙවෙයි. ලංකාවේ වස්තුවක් ගියොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ.."
සමස්තයක් ලෙස, මෙම සාකච්ඡාව හරහා ආචාර්ය නලින් ද සිල්වා සමාජගත කිරීමට වෙර දරන කථිකාවත කුමක් ද යන්න වටහා ගැනීම අපහසු වන්නේ, ඔහු මෙම සාකච්ඡා සන්දර්භය තුළ "කවර්ස්" හෙවත්, වෙනත් ගායකයෙකු හෝ ගායිකාවක ගායනා කළ ජනප්‍රිය ගීතයක් පසුකාලීනව තවත් කෙනෙක් එහි පදමාලාවට හෝ නාද මාලාවට හානි නොකර ගායනා කරන රැල්ල පිළිබඳව හෝ පැහැදිලි අවබෝධයක් නොමැති බව, දිස් වන නිසාවෙන්.
මෙහිදී යොහානිගේ ගීතය වැළඳ ගැනීම භාරතයට පමණක් සිදුවූවක් ලෙසට ලඝු කිරීමට ආචාර්ය නලින් ද සිල්වා උත්සාහ දරන අතරම එය ඉන්දියාවෙන් එපිට යුරෝපයේ, අමරිකාවේ පවා ඉන්දියාවේ තරමටම නොවුණත්, ජනප්‍රිය වූ ගීතයක් බවට මේ වන විටත් පත් වී ඇති බව ඔහු නොදැන සිටීම කණගාටුවට කරුණක්. එමෙන්ම, මෙම ගීතය භාරතය තුළ ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධානතම කරුණ වූයේ මහා භාරතයේ මහා නළුවා ලෙස සලකන අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිණුම හරහා එම ගීතය ට දක්වා තිබූ ප්‍රතිචාරය යි.
ඒත් සමඟම මේ ගීතය කුමක් ද යන්න සෙවීමට ඉන්දීය රසිකයින් පෙළඹුණු අතර ඒ හරහා කෝටි 200කට අධික ජනගහනයක් සිටිනා අපේ අසල්වැසියාගේ රට තුළ ගීතය ජනප්‍රිය වුණා. එය දේශපාලනීකරණය කරමින් දෙරට අතර සිදු කෙරෙන දේශපාලන ගනුදෙනුවක් ලෙසට ලඝු කරන්නට ආචාර්ය නලින් ද සිල්වා උත්සාහ දරන්නේ කුමක පදනමක් යටතේ සිටිමින් ද කියන කරුණ වටහා ගත නොහැකි උභතෝකෝටිකයක්.
කෙසේ වෙතත්, යොහානිගේ ගී ගායන හැකියාව හෝ මේ ගීතය මෙම කොදෙව්වෙන් එපිට ලෝකය ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීකයින් ලෙස අපට ඇත්තේ මහත් වූ ආශ්වාදයක්. රැල්ලක් පටන් ගත් සැණින් උන්මාදයක් ලෙස රැළි පරයා රැළි නඟමින්, ඉහළ යාම ඉන්දීය මහ සංස්කෘතිය තුළ දක්නට ලැබෙන සුලබ කරුණක්. එය හොඳ නරක දෙකට ම එක ලෙස පොදු යි. මෙවන් තත්ත්වයක් යටතේ මෙම ලිලිපුට් ගායිකාව ලබාගත් ජාත්‍යන්තර කීර්තිය මෙලෙස අවතක්සේරු කිරීම, ගණිත විෂය පිළිබඳ සම්මානිත මෙම ආචාර්යවරයාට තරම් නොවන බව, අපගේ හැඟීම යි.
එමෙන්ම, ඇය ඉතා කෙටි කලක් තුළ ලබාගත් මෙම ජාත්‍යන්තර අවධානය සහ කීර්තිය සිතූ සිතූ ලෙස හසුරවමින් ඒ හරහා බැබළෙන්නට මෙරට බොහෝ දෙනෙක් උත්සාහ දරන බවත්, මේ වන විට ප්‍රකට වන කරුණක්. පාර්ලිමේන්තුවේ සිට පහළට මේ තත්ත්වය දක්නට ලැබීමත් ඇත්ත වශයෙන්ම ඛේදවාචකයක්. කෙසේ වෙතත්, මේ කොදෙව්ව තුළ වරින් වර ජාත්‍යන්තරය ජයගත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විද්වතුන්, නව නිපැයුම්කරුවන් අතර කලාකරුවන් හමුවන්නේ ඉතාමත් අතළොස්සක්.
ඒ අතරිනුත් යොහානි වැදගත් වන්නේ, ඉතාමත් කෙටි කලක් තුළ අසල්වැසි භාරතය පමණක් නොව, ලොව අනෙක් කලාපයන් තුළ පවා ඇයගේ මෙම ගීතය ප්‍රචලිත වීමත්, ඒ හරහා කලක භීෂණය, දූෂණය, මානව හිමිකම් කඩකිරීම් ආදී කරුණු හේතුවෙන් ජාත්‍යන්තරයේ නම කියැවුණු මේ කුඩා දේශයේ නාමයට යම් තරමක හෝ ආලෝකයක් ලබා දීමට ඇයට හැකි වීම යි.
යොහානිගේ දස්කම් පිළිබඳ අනාවැකි කීම පසෙක තබා එය අනාගතයට භාර කරන්නේ හුදෙක්ම එය ඇය විසින් ගායිකාවක ලෙස උපයා ගත යුතු, දෙයක් ලෙස සලකන නිසාවෙන්.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. |