සති දෙකක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතුයි- PHI සංගමය
මේ මොහොතේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා හෝ සංචරණ සීමා අඛණ්ඩව පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමව අද දිනයේ දීත් පවසා සිටියේය. එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා අද දිනයේ කියා සිටියේ, මේ වන විට පනවා ඇති සංචරණ සීමා තරමක් දුරට කොවිඩ් තත්ත්වය පාලනයට උදව් වන නමුත් එය ප්‍රමාණවත් නොවන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“මුළු රටම අවධානමකට ගිය අවස්ථාවක්. අවම වශයෙන් සති දෙකකට එහා ගිය කාල සීමාවක් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හෝ රට ම තුළ සංචරණ සීමා පැනවීම සිදුකළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපිට පේන්න තියෙනවා අනෙකුත් වෘත්තියන් සත්‍ය ප්‍රකාශ කළ ද බොහෝ අවස්ථාවල රට තුළ යහපත් දෙයක් කිරීමට ඉල්ලීම් කළත් ඒවට ඇහුම්කන් දෙන්නේ නැතුව එක් වෘත්තීය සංගමයකට අනුව කටයුතු කරන්න ගිහින් මේ අවධානම් තත්ත්වයට අප පත් ව සිටිනවා.“
කොවිඩ් - 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණය යටතේ මේ වන විට දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකය. එම සංචරණ සීමා එළඹෙන මැයි 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 ට ලිහිල් කෙරෙන අතර එදිනම රාත්‍රී 11.00 ට යළි දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මැයි 25 වැනි අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදුනොවන බවය.
එම සංචරණ සීමා ලිහිල් කිරීම සිදුකරනුයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සපයා ගැනීමට ඉඩදීම සඳහා පමණක් බවද යුද හමුදාපතිවරයා අවධාරණය කරයි. සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලය තුළ මත්පැන් අලෙවිසැල් විවෘතව නොතැබෙන අතර විවෘත කර තැබීමට අවසර ඇත්තේ ආහාර ද්‍රව්‍ය වෙළඳසැල්, ෆාමසි සහ ඉන්ධන පිරවුම්හල් පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදි ගැනීමට නිවසින් බැහැරට යා යුත්තේ එක් අයෙකු පමණක් බවත් අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශිවීම් සඳහා කිසිසේත්ම ඉඩ නොතැබෙන බව යුධ හමුදාපතිවරයා අවධාරණය කරයි.
මැයි මස 25 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමේදි බලපැවැත්වෙන මෙම නියමයන් මැයි 28 වන දින අලුයම 4.00 ට සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුවද බලපැවැත්වෙනු ඇත. එමෙන්ම මැයි 29,30 යන සතිඅන්තයේ දිනවල සංචරණ සීමා පැනවීම පිළිබඳ තීරණය මැයි 27 වනදා සිදුකරන තත්ත්ව සමාලෝචනයකින් පසු ගනු ලබන බවද යුද හමුදාපතිවරයා නිවේදනය කරයි.
මේ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ආනයනකරුවන්ගේ ගබඩාවල පවත්නා තත්ත්වය පරීක්ෂාකර රටට අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණාත්මකව පවතින්නේදැයි සොයා බැලීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෑලියගොඩ සහ පිටකොටුව යන ප්‍රදේශවල සංචාරය කළේය. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අද පෙරවරුවේද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙළඳ කටයුතු සඳහා විවෘත කර තිබුණි.