සුබ ආරංචියක් - ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක කළමනාකරණ වැඩපිළිවෙළක්
මින්නෑරිය, කවුඩුල්ල සහ හුරුළු ජාතික උද්‍යානවල සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සේවා කාර්යක්ෂම කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම පිළිබඳ සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී මින්නෑරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යාන වෙත දිනකට ජීප් රථ 400 ත් 600 ත් අතර අධික සංඛ්‍යාවක් ඇතුළු වීම නිසා වනජීවීන්ට සහ පරිසර පද්ධතියට සිදුවන බලපෑම අවම කිරීමට විශේෂ අවධානයක් යොමු විය.
ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් මඟින් විද්‍යාත්මක ධාරණ ධාරිතා අධ්‍යයනයක් කඩිනමින් සිදු කිරීමටත්, රථවාහන ගමනාගමනය පාලනය කිරීම වෙනුවෙන් මින්නෑරිය උද්‍යානයට ඇතුළු වීම සඳහා සීගිරිය-පේක්කුලම ආශ්‍රිතව නව පිවිසුමක් සකස් කිරීමටත් යෝජනා කෙරිණි.
එමෙන්ම, මින්නෑරිය ජාතික වනෝද්‍යානයට පස්වරු 2.00 න් පසුව ඇතුළු වන වාහන බටුඔය පිටවීම හරහා යොමු කර රථවාහන තදබදය අවම කිරීමට ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.
ඩිජිටල්කරණය සහ ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් මින්නෑරිය සහ කවුඩුල්ල යන උද්‍යාන දෙක සඳහාම එක් ස්ථානයකින් ප්‍රවේශපත් නිකුත් කිරීමේ සංකල්පයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව හුරුළු පරිසර උද්‍යානය සඳහා නගරබදව ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගගත ප්‍රවේශපත් නිකුත් කිරීමේ පද්ධතියක් සකස් කිරීමට ද නියමිතය.
එමෙන්ම උද්‍යාන ගේට්ටු ආශ්‍රිතව වාහන ඇතුළු වීම සහ පිටවීම අධීක්ෂණය කරන මාර්ගගත පද්ධතිය යාවත්කාලීන කර, පිවිසුම් දොරටු අසල පවතින තදබදය වහාම පාලනය කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
සංචාරක පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් හුරුළු පරිසර උද්‍යානයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් උදෙසා උසස් මට්ටමේ ආහාර පාන පහසුකම් සහිත ස්ථානයක් ස්ථාපිත කිරීමට ද, මින්නෑරිය සහ කවුඩුල්ල උද්‍යාන තුළ සංචාරකයින් රැඳී සිටිය යුතු අවම කාලසීමාවක් නියම කිරීමට ද තීරණය කර ඇත.
එමෙන්ම උද්‍යාන තුළ පිහිටි කෞතුකාගාර නවීන අංගයන්ගෙන් සමන්විත වන සේ ප්‍රතිසංස්කරණය කිරීමට ද උපදෙස් ලැබී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කරගැනීම සඳහා වනජීවී තේමා කරගත් T-shirts, සිහිවටන සහ දේශීය නිෂ්පාදන උද්‍යාන පරිශ්‍රයන්හිදී අලෙවි කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට ද මෙහිදී යෝජනා විය.
අදාළ රාජ්‍ය ආයතන, නිලධාරීන් සහ පාරිසරික විශේෂඥයින් සම්බන්ධීකරණය කරගනිමින් මෙම තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.