මිහින්තලේ හාමුදුරුවන්ට වඩා මිහින්තලේ ගැන ලොකු අයිතිය තියන්නේ අපිට - ඇමති ලාල්
කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසා ඇත්තේ, තම නිවස අනුරාධපුර නුවර වැව ඉස්මත්තේ පිහිටා ඇති බවත්, කුඩා කල සිට මහමෙව්නා උයනේ කෙළි සෙල්ලම් කළ බවත්, එබැවින් මිහින්තලේ රජමහා විහාරය පිළිබඳ මිහින්තලේ විහාරාධිපති හිමියන්ට වඩා තමන්ට ලොකු අයිතියක් ඇති බවත්ය.
ඔහු මේ බව කියා සිටියේ ලෝක බැංකු ආධාරයෙන් ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය (Climate Smart Irrigated Agriculture Project) යටතේ එළඟා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීමේ උත්සවයකදී කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති සම්මන්ත්‍රණය අමතමිනි. මෙම උත්සවය ඉකුත් 30 වැනිදා පැවැත්විණි.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙසේය:
“මගේ නිවස පිහිටලා තියෙන්නෙ නුවර වැව ඉස්මත්තේ. මං උදේ පාන්දර නැගිටලා බැලුවොත් මට පේන්නෙ නුවර වැව. වැවේ පිට්ටනියට බැස්සාට පස්සෙ මට මෙහෙම ඉස්සරහට පේන්නෙ බන්ට් එකෙන් අනිත් පැත්තේ රුවන්වැලි සෑය. මගෙ දකුණු අත පැත්තෙන් ජේතවනාරාමය. ඊළඟට පේනවා මේ පැත්තෙන් අභයගිරි චෛත්‍ය. වම් පැත්තෙන් බැලුවාම පේනවා මිරිසවැටිය. ඊට එහා පැත්තෙන් දැන් තියෙනවා සඳහිරු සෑය. දැන් තියෙනවා, ඉස්සර තිබ්බෙ නෑ. වැව් පිට්ටනියෙ ඉඳන් අනිත් පැත්ත හැරුණාම මට පේනවා මිහින්තලා චෛත්‍ය. මිහින්තලේ හාමුදුරුවන්ට වඩා මිහින්තලේ පිළිබඳ ලොකු අයිතියක් අපිට තියෙනවා. නුවර වැවට අදාළ උඩින් තියෙන වැව් ඔක්කොගෙම මම නාලා තියෙනවා, මාළු අල්ලලාත් තියෙනවා.”