මැදපෙරදිග තත්ත්වය යළි උග්‍ර වෙයි - ආරක්ෂක අංශවලින් රතු එළියක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල විය හැකි මිසයිල තර්ජනයක් සම්බන්ධයෙන් එරට බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එරට ජාතික හදිසි අර්බුද හා ආපදා කළමනාකරණ අධිකාරිය (NCEMA) සඳහන් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් රට ඉලක්ක කරගත් මිසයිල තර්ජනයක් හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, නිල මාධ්‍ය ඔස්සේ නිකුත් කරන අනතුරු ඇඟවීම් හා උපදෙස් අනුගමනය කරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර, වත්මන් තත්ත්වය සහ ඇතිවිය හැකි මිසයිල තර්ජන හේතුවෙන් ළඟම ඇති ආරක්ෂිත ගොඩනැගිල්ලක නවාතැන් ගන්නා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයද දුරකථන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීම පසුව ඉවත් කර ඇති බව වාර්තා වේ.
එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉරානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිල දෙකක් හඳුනාගත් බවයි. ඉන් එක් මිසයිලයක් එරට භෞමික මුහුදු සීමාව තුළටත් අනෙක එම සීමාවෙන් පිටතටත් වැටී ඇති බව සඳහන් කර තිබේ. ඕනෑම තර්ජනයකට මුහුණදීමට එරට ආරක්ෂක අංශ සූදානම් බවද අවධාරණය කර ඇත.
මෙම සිදුවීම වාර්තා වන්නේ මැද පෙරදිග සතුරුකම් අවසන් කිරීම අරමුණු කරගනිමින් ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇතිකරගෙන තිබූ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වී දිනකට පසුවය. කෙසේ වෙතත්, මිසයිල එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
මේ අතර, මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කර තිබුණේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ අබුඩාබි ජාතික තෙල් සමාගමට (ADNOC) අයත් ටැංකි නෞකාවකට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වූ බවයි.