මේ රෝගය කියලා සැක නම් වහාම වාර්තා කරන්න පැතිරීම වළක්වන්න ඇති එකම මඟ එන්නත - සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
සරම්ප රෝගය යැයි සැක කළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තා කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍ය වෘත්තිකයන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පුවත්පතකට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ ප්‍රකාශ කර ඇත්තේ, උණ සමඟ සමේ පලු දැමීම හෝ රතු පැහැති ලප (Rashes) මතු වන රෝගීන් පිළිබඳව පසු විපරම් කටයුතු වෙනුවෙන් වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතු බවයි.
එමෙන්ම පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන එවැනි රෝගීන් වැඩිදුර කළමනාකරණය සහ නිසි අධීක්ෂණය සඳහා රජයේ රෝහල් වෙත යොමු කරන ලෙස ද ඔහු පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත.
එමෙන්ම සරම්ප පැතිරීම වැළැක්වීමට ඇති එකම සහ වඩාත් සාර්ථක ක්‍රමය එන්නත්කරණය බව වෛද්‍ය ලියනපතිරණ මෙහිදී සඳහන් කර ඇති බව සඳහන්.
ඒ අනුව මාස 9 සිට අවුරුදු 3 දක්වා: අවම වශයෙන් සරම්ප එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත යුතු අතර අවුරුදු 3 සිට 15 දක්වා එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කර තිබිය යුතු වෙයි.
එසේම සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට හෝ තම දරුවන්ට උණ සමඟ සමේ පලු දැමීමක් වැනි රෝග ලක්ෂණ පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන ලෙසයි.
ඉකුත් වසරේ ජනවාරි මාසයෙන් පසුව මෙරටින් කිසිදු සරම්ප රෝගියෙකු වාර්තා නොවූවත් ඉකුත් මාසයේදී රෝගීන් දෙදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇත. කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන්නේ මෙම රෝගීන් දෙදෙනාම විදේශගතව සිට මෙරටට පැමිණි අය බවයි.