මුළු රටටම බලපාන දෙයක් 30% කින් ඉහළ යයි..දැඩි අවධානම් තත්ත්වයක්..

Business Mobile Sri Lanka Police Sri Lanka
By Aruna Apr 30, 2022 10:56 PM GMT
Aruna

Aruna

Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 18යි දශම 7හි සිට ඉකුත් අප්‍රේල් මාසයේ දී සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන්නේ.

ඒ අනුව, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 30යි දශම 2 සිට පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 46යි දශම 6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 13යි දශම 4 සිට පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

2022 අප්‍රේල් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 09යි දශම 02යි 05ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ආහාර නොවන සහ ආහාර යන ඛාණ්ඩ දෙකේ අයිතමවල මිල ගණන් පිළිවෙලින් සියයට 04යි දශම 09යි 05කින් සහ සියයට 04යි දශම 03යි 01කින් ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පෙන්වා දෙන්නේ.

ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළවන ඉන්ධන මිල ඉහළ යාම, අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව උපකාරක පන්ති ගාස්තු ඉහළ යාම, නිවාස කුලී, ජලය, විදුලිය, ගෑස්, වෙනත් ඉන්ධන වර්ග, ආපනශාලා සහ හෝටල් කාණ්ඩවල අයිතමයන්හි මිල ගණන් ඉහළ යාම එම තත්ත්වයට බලපා ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 09යි දශම 1 සිට ඉකුත් අප්‍රේල් මාසයේ දී සියයට 11යි දශම 03ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now