ලැම්බෝගිනි ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් ලංකාවේ හිර වේ
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය නැව් මාර්ගවලට එල්ල වී ඇති බාධා හමුවේ, ලැම්බෝගිනි, රෝල්ස් රොයිස් සහ ෆෙරාරි වැනි ලොව සුපිරි ගණයේ සුඛෝපභෝගී වාහන තාවකාලිකව රඳවා තබා ගන්නා අනපේක්ෂිත මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව විශේෂයෙන්ම මැදපෙරදිග ගැනුම්කරුවන් ඉලක්ක කර ගනිමින් ඩුබායි වරාය වෙත ළඟා වීමට නියමිතව තිබූ මෙම වාහන තොග සහිත නැව්වලට පවතින යුදමය තත්ත්වය නිසා එරටට ඇතුළු වීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් එම වාහන 50ක් පමණ ශ්‍රී ලංකාවට සහ චීනයට ගොඩබෑමට පියවර ගෙන ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නොසන්සුන්තාවය නිසා නැව් කාලසටහන් සම්පූර්ණයෙන්ම අවුල් වී ඇති අතර, භාණ්ඩ වෙනත් ආරක්ෂිත මාර්ගවල හරහා ප්‍රවාහනය කිරීමට සිදු වීම නිසා ගබඩා ගාස්තු ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ අපනයනකරුවෝ පෙන්වා දෙති.
මෙම හදිසි වෙනස්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරායන්හි ද දැඩි තදබදයක් නිර්මාණය වී ඇති අතර, භාවිතා කරන ලද මෝටර් රථ 500කට අධික ප්‍රමාණයක් රැගත් නැව් තොගයක් දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ ප්‍රමාද වී අවසානයේ හම්බන්තොට වරායට ගොඩබෑමට කටයුතු කර ඇත.
ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලින් පැමිණෙන භාවිතා කරන ලද වාහන සඳහා මැදපෙරදිග ප්‍රධානතම වෙළෙඳපොළක් වුවද, පවතින අවිනිශ්චිතතාවය හමුවේ බොහෝ ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් තත්ත්වය නිරීක්ෂණය කරමින් බලා සිටීමේ උපායමාර්ගයක් අනුගමනය කිරීමට පෙළඹී සිටිති.
මේ හේතුවෙන් බොහෝ නැව් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය ආසන්නයේ නතර කර තබා ගැනීමට නැව් සමාගම් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.