රට වසා තැබීම ගැන අගමැති ගේ තීරණය මෙන්න.

Covid Curfew Lock down Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Aug 27, 2021 03:51 AM GMT
Aruna

Aruna

Report

දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටතුළ පැතිර පවතින කොරෝනා ව්‍යාප්තියෙන් රට බේරා ගැනීම සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බවද ඒ මහතා කියා සිටියි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී

මේ අතර දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි.

එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

මෙවර රට වසා දැමීමට සිදුවූයේ පාර්ශව ගණනාවක් ඉල්ලීම සලකා බලමින් බවද ඔහු සඳහන් කළේය.

රට වසා දමා ඉදිරියට යාමට අපහසු බව ලෝකයේ බොහෝ රටවල් අද වන විට ප්‍රකාශ කරමින් ඇති බවත් රට විවෘත කරගෙන කොරෝනා පාලනය කළ යුතු මට්ටමට ලෝකයට ලෝකය පැමිණ ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha